ජාතික රණවිරු සැමරුම අදයි

ජාතික රණවිරු සැමරුම අදයි

තිස් වසරක් පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වීමට නියමිත අතර ඊට රජයේ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, රණවිරුවන් සහ යුද්ධයෙන් දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සහභාගී වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක අතර ඒ අනුව, පස්වරු 03 සිට රණවිරු දින සැමරුම් උත්සවය අවසන් වන තුරු පොල්දූව හන්දියෙන් සහ කියන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගය වසා තැබෙන බව පොලීසිය පවසයි.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

මේ අතර, තිස් වසරක කුරිරු යුද්ධය නිමා කර මාතෘ භූමියට නිදහස ලබාදීමට නායකත්වය දුන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් යුද ජයග්‍රහණය වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධයන්ට ලක්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, රණවිරුවන් හා ඔවුන්ගේ ඥාතීන් ට උපහාර පුදකරමින් 15 වන ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය පහතින්..

විජයග්‍රහණයේ 15 වැනි මතක සැමරුම

දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව වෙලාගත් බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ 15 වැනි සැමරුම 2024 මැයි මස 19 වැනිදාට යෙදී තිබේ.

හැත්තැව දශකයේ ඉතා සුළුවෙන් ආරම්භ වූ එල්.ටී.ටී.ඊ සංවිධානය 2008 වසර වනවිට ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්ව තිබිණි.

මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සහ ළමා සොල්දාදු බළකායන් පවා ලොවට හඳුන්වාදුන් එල්.ටී.ටී.ඊ සංවිධානය එදා පරාජයට පත්කරනවිට මරාගෙන මැරෙන කුඩා බෝට්ටු, රාත්‍රී කාලයේ පහර දෙන සැහැල්ලු ගුවන් යානා ඇතුළු අවි ආයුධ ගෙන්වීමේ නෞකාවලින් පවා ශක්තිමත්ව සිටි බව ඔබට සිහිපත් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රාජ්‍ය නායකයන් දෙදෙනෙක් ඇතුළුව මෙරට දේශපාලන නායකයන් සහ සිවිල් වැසියන් දහස් ගණන් ඝාතනය කළ එල්.ටී.ටී.ඊ සංවිධානය එදා මා දිගු කළ සාම මාවත ද ප්‍රතික්ෂේප කරමින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීම නිසා අපි එදා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ කළෙමු.

එම මානුෂීය මෙහෙයුම විරෝධාර රණවිරුවන් විසින් අවසන් කරනු ලැබුවේ, ත්‍රස්තවාදීන් ඊළමක් ලෙස බෙදා වෙන්කරගත් උතුරු හා නැගෙනහිර සමස්ත භූමිය 2009 මැයි 18 වැනිදා මුළුමනින්ම අත්පත්කර ගනිමින් හා මැයි 19 වැනිදා උදෑසන කොටි ත්‍රස්ත නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බව තහවුරු කරමිනි.

සිවුවැනි ඊළාම් සටන පරාජය කළා පමණක් නොව මිනිස් පළිහක් ලෙස ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසක් ද මානුෂීය මෙහෙයුම අවසානයේ නිරුපද්‍රිතව මුදා ගැනීමට අපගේ විරෝධාර රණවිරුවෝ සමත් වූහ.

එවකට ආරක්ෂක ලේකම්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොළිස්පති සහ සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානී ඇතුළු සමස්ත ආරක්ෂක අංශ සාමාජිකයන් එක්ව ලබාගත් මෙම විජයග්‍රහණයට දායක වූ සියලු දෙනා ද ඊට සහය දුන් රට වැසියන් සියලුදෙනාත් පස්වැනි විධායක ජනාධිපතිවරයා හා සේනාධිනායක වශයෙන් මම අදට යෙදෙන සැමරුම් දිනයේත් ගෞරවයෙන් සිහිපත් කරමි.

මෙරටට සාමය උදාකිරීම උදෙසා රට වෙනුවෙන් දිවි පිදු විසිපන්දහසකට අධික ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සියලු සාමාජිකයන් මෙන්ම ආබාධිත තත්ත්වයට පත් වෙමින් රට වෙනුවෙන් සටන් බිමේ යුතු කම් ඉටු කළ සියලු රණවිරුවන් හා ඔවුන්ගේ දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන්ට ද මාගේ උපහාරය පුද කරමි.

යුද්ධයේ කටුක අත්දැකීම් නොමැති සමාජයක අපි දැන් ජීවත් වන්නෙමු. ඒ නිසා යුද්ධය ගැන නැවත හැරී බැලිය යුතු නැතැයි ඇතමෙක් ප්‍රකාශ කළ ද රණවිරුවන්ගේ වීරත්වයට නිසි ඇගයීම දෙමින් නැවත යුද්ධයක් ඇති නොවන අනාගතයක් වෙනුවෙන් රට මෙහෙයවීම අප සියලුදෙනාගේ වගකීමකි.

රට ජාතිය ආගම මෙන්ම රටක පෞඩත්වය විදාපාන වීරත්වය අප සැමදා සිහිපත් කළ යුතු ය. කිසිවෙකු හෝ ඒ සියල්ල අමතක කොට දමා අනාගතයට පියනගන්නැයි පවසයි නම් එහි සැඟවී ආ හැකි අනාගත අඳුරු පැතිකඩ පිළිබඳව රටේ ජනතාව ද විමසිල්ලෙන් පසුවිය යුතු බව මාගේ විශ්වාසයයි.

මහින්ද රාජපක්ෂ
පස්වැනි විධායක ජනාධිපති
2024 මැයි 19 දීය.