වැස්ස ඉදිරියටත් – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

වැස්ස ඉදිරියටත් – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

තද සුළං සමග මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය අද (23) රාත්‍රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට අදාළ රතු නිවේදනය නිකුත් කර තිබේ.

ධීවර සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසත් හෙට (24) වන විට පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය බෙංගාල බොක්කෙහි මධ්‍යම ප්‍රදේශය හරහා පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන්පසුව එය බෙංගාල බොක්ක ඊසාන දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වේ.

ඒ වනවිට දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් ගිනිකොණදිග අරාබි සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් ඉතා තද සුළං පැ.කි.මී 60 – 70 දක්වා ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකිය.

එමෙන්ම ඉහත සිතියමේ දැක්වෙන මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවිකයින්ට හා ධීවරයින්ට දැනුම්දී තිබේ.

දැනට එම ප්‍රදේශවල සිටින අයට වහාම ගොඩබිමට පැමිණෙන ලෙසත් ඉදිරි නිවේදන ගැන සැලකිලිමත් වන ලෙසත් දැනුම්දී ඇත.