ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකියි – ජනපති

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකියි – ජනපති

ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ෂැංග්‍රිලා හෝටලයේ දී ඊයේ (15) පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධාන කළ ‘2024 අයවැය කතිකාවත‘ අමතමිනි.

වෙනස්වන පරිසරය තුළ වෙනස් වීම මගින් අර්බුදයට සාර්ථක විසඳුම් සොයා ගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේදී ද එම ක්‍රමවේදය ඉතාම වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම ප්‍රතිලාභ වෙනුවෙන් වෙන්කළ මුදල තුන් ගුණයකින් වැඩි කිරීමට පියවර ගත් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.