නව කිව්. ආර්. කේතය මූඩිය මත

නව කිව්. ආර්. කේතය මූඩිය මත

ප්‍රමිතිය පිළිබද තොරතුරු සහිත කිව් ආර්. කේතය ඇතුළත් ස්ටිකරය ලබන ජුනි මස පළමුවැනිදා සිට මත්පැන් බෝතලයේ මූඩිය උඩ කොටසේ අලවා නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දැනට එම කිව් ආර් කේතය ඇතුළත් ස්ටිකරය මත්පැන් බෝතල්වල මූඩිය කරමත සඳහන් වුවද එය පැහැදිලි නොවන බවට එල්ල වූ චෝදනා හේතුවෙන් මෙලෙස කිරීමට පියවර ගත් බවත්, මේ සඳහා නව යන්ත්‍රද ගෙනවිත් ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

සියලුම මත්පැන් නිෂ්පාදකයන් සඳහා සමජාතීය ව්‍යාජ නොවන ආරක්ෂිත බදු මුද්‍රාවක් හඳුන්වාදීම සඳහා ලබාදුන් නිර්දේශ සහ මීට පෙර ලබා දී තිබූ නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ප්‍රගතිය විමසීමට එම දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව හමුවට පසුගිය 24 වැනිදා කැඳවා තිබිණි.

එහිදී ලබන ජුනි මස පළමු වැනිදා වන විට වඩාත් පැහැදිලි වන ලෙස දෘශ්‍යමාන වන කිව් ආර් කේතයක් හඳුන්වාදීමට කටයුතු සූදානම් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මත්පැන්වල ආරක්ෂිත බව තහවුරු කරමින් බෝතලයේ අලවන ලද මෙම කේතය ඇතුළත් ස්ටිකරය හඳුන්වාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී මත්පැන් කර්මාන්තකරුවන්ගෙන් විරෝධතාද පැවතුණි.

Share This