පොලිස් පැමිණිලි දැමීම දැන් නිවසේ සිටම

පොලිස් පැමිණිලි දැමීම දැන් නිවසේ සිටම

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මහජන පැමිණිලි ලබාගෙන පැමිණිල්ල කරන පුද්ගලයා සිටින ස්ථානයට එසැණින්ම පොලිස් කණ්ඩායම් යවා පැමිණිල්ල විභාග කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරි දිනවලදී හඳුන්වාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇතැයි .වාර්තා වේ.

මේ අනුව මින් ඉදිරියට මහජනතාවට මුල් පැමිණිල්ල කිරීමට පොලිසියට යා යුතු නොවන්නේය.

පොලිස් වෙබ් අඩවිය ඔස්සේ “පොලිස්පතිට කියන්න” (TELL IGP )යනුවෙන් පැමිණිලි කරන්නට තිබූ ආකාරයට මෙම පැමිණිල්ල කළ හැකි අතර පැමිණිල්ල කළ සැණින් අදාළ පොලිස් ස්ථානය මෙන්ම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන නිලධාරීන්ට අන්තර්ජාලය ඔස්සේම පැමිණිල්ලේ පිටපතක් යැවෙන ක්‍රමවේදයක් සකස් කර ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම නව ක්‍රමවේදය මුලින්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.

මේ අනුව පොලිස් ස්ථාන 22කට මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමට සූදානම් කර ඇත.

මුල් පැමිණිල්ල ලද විගස අදාළ පොලිසියේ පොලිස් ස්ථානාධිපති නියෝගයෙන් පොලිස් රේඩියෝ කාර් හෝ පොලිස් යතුරු පැදි එම ස්ථානය වෙත වහාම පිටත් කර යැවිය යුතුය.

එහිදී ප්‍රකාශ සටහන් කරගෙන, හඬ පට පවා සාක්ෂි ලෙස අන්තර්ජාලය ඔස්සේම පොලිසියේ දත්ත පද්ධතියට ඇතුළත් කළ හැකිය.

ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක පොලිසි වලට මෙම ක්‍රමවේදය හඳුන්වාදී තිබේ.

පොලිසියට කාර්යක්ෂමව පැමිණිලි විභාග කිරීම මෙන්ම මහජනතාවට ද පොලිසියට නොගිහින් පැමිණිල්ලක් කිරීමට අවකාශ ලැබේ.

Share This