දුම්රියේ ගැටී විදුහල්පතිවරයෙක් ජිවිතක්ෂයට

දුම්රියේ ගැටී විදුහල්පතිවරයෙක් ජිවිතක්ෂයට

නුවරඑළිය නානුඔය පොලිස් වසමට අයත් රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයේදි ඊයේ (11) බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

එදින පස්වරු 3.30 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ, නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් (අවු. 52) යන අයයි.

පාසල් නිවාඩුවෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා පාසල විවෘත කිරීම ප්‍රථම දින පාසලේ ශ්‍රමදානයක් පවත්වා විදුහල්පතිවරයා ඔහු පදිංචි නානුඔය කල්කාන්ති වත්තට සුපුරුදු පරිදි දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත් වී ඇත.

අනතුර සිදු වීමෙන් පසු දුම්රිය රියදුරන් එය නොදැක දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර, දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුවීම දැක ඒ පිලිබදව නානුඔය දුම්රිය ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරින් සහ පොලිස් නිලධාරීන් එක්ව විදුහල්පතිවරයාගේ සිරුර නානුඔය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් ඇත.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත් කර ගන්නා තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ පැය 2 ½ ක් සහ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානයේ පැය 3 ½ ක්ද බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය මගි ප්‍රවාහන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ පැය කිහිපයක් නතර කර තිබීම නිසා එම දුම්රියන් වලින් ගමන් ගත් මගින් දැඩි පිඩාවට පත් වි සිටියහ.