ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදු වූ අපහසුතාවය ගැන පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදු වූ අපහසුතාවය ගැන පැහැදිළි කිරීමක්

නේවාසික පහසුකම් සළසා දීමේ දී ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිම්බාබ්වේ රාජ්‍යයේදී මුහුණ පෑමට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිළි කිරීමක් සිදු කර තිබේ.

2023 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණේ පසුගිය සෙනසුරාදා අලුයමයි.

පැය 20කට ආසන්න ගුවන් ගමනකින් අනතුරුව ඔවුන් ඊයේ (11) පස්වරුවේ දී සිම්බාබ්වේ දේශයට ලඟා වුණත් ක්‍රීඩකයින් වෙනුවෙන් නිසි පහසුකම් ලබාදීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය හෝ ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන නොතිබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් හෝටලයේ කාමර වෙන් කර නොතිබීම නිසා ඔවුන් හෝටලයේ ප්‍රධාන දොරටු අසල බිම වාඩි වී ගිමන් හරින ඡායාරූප ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එක්කර තිබුණි.

පැය 3කට ආසන්න කාලයක් හෝටලයේ බිම වාඩි වී සිටි ඔවුන්ට කාමර ලැබුණත් එක් ක්‍රීඩකයෙක් වෙනුවෙන් එක් කාමරයක් වෙන්ව නොතිබූ බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම නැවතී සිටින හෝටලයට කණ්ඩායම පැමිණීමට පෙර තවත් කණ්ඩායමක් පැමිණීම නිසා මෙම ප්‍රමාදය හේතුවී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව හෝටල් කළමණාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු අදාල ගැටලු‍ව නිවැරදි කර ගැනීමට හැකිවූ බව එම නිවේදනයේ දැක්වේ.

අනතුරුව සියල්ල යථා තත්වයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මහින්ද හලංගොඩ මහතා සඳහන් කළේය.

Share This