එළඹෙන පාසල් නිවාඩුවෙන් පසු විදුහල්පතිවරු 4672ක් පාසල්වලට අනුයුක්ත කිරීමේ සැලැස්මක්

එළඹෙන පාසල් නිවාඩුවෙන් පසු විදුහල්පතිවරු 4672ක් පාසල්වලට අනුයුක්ත කිරීමේ සැලැස්මක්

විදුහල්පතිවරු 4672කට මේ වන විට පත්වීම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (24) පාර්ලිමේන්තුවේ පැවසීය.

ඒ අනුව, එළඹෙන පාසල් නිවාඩුවෙන් පසු නව පාසල් වාරයේදී එම විදුහල්පතිවරු පාසල් වලට අනුයුක්ත කරන බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ගුරුවරුන්ට මේ වන විට පළාත් මට්ටමින් මාසික පුහුණුවක් ලබා දෙමින් සිටින බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

දුෂ්කර පාසල්වල දැනට සේවය කරන විදුහල්පතිවරු සඳහාද විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති අතර අධ්‍යාපන පරිපාලනවේදී පුරප්පාඩුද හැකි ඉක්මනින් සම්පූර්ණ කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

අධ්‍යාපන පරිපාලනවේදී පුරප්පාඩු 808ක් තිබෙන බවත් මේ වන විට එම විභාගයේ ඇගයීම් කටයුතු සිදු වෙන අතර හැකි ඉක්මනින් 404 දෙනෙකුට පත්වීම් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන්.

Share This