නාරම්මල පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාම ගැන පරීක්ෂණ

නාරම්මල පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාම ගැන පරීක්ෂණ

උප පොලිස් පරික්ෂකවරයෙකු සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියායාමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් පත් කර තිබේ.

සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් පත් කළ එම කණ්ඩායම ඊයේ රාත්‍රියේම නාරම්මල ප්‍රදේශයට ගිය බවයි, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

පරීක්ෂණවලින් අනතුරුව වග කිව යුතු පාර්ශව වලට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවේ ය.

උප පොලිස් පරික්ෂකවරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී ලොරි රථ රියැදුරෙකු ඊයේ රාත්‍රියේ මිය ගියේ ය.

සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසින් නරම්මල පොලිසිය ඉදිරිපිටට රැස්ව විරෝධතාවක නිරත වූ අතර එය පාලනය සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය කැදවීමටද පොලිසියට සිදු විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, නාරම්මල නගරයේදී සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් නතර කරන ලෙසට අණකර ඇති බවයි.

අන නොතකා ධාවනය කළ ලොරිය පිටු පස පොලිස් නිලධාරින් දෙදෙනා යතුරුපැදියකින් හබා ගොස් දම්පැලැස්ස ප්‍රදේශයේදි එය නතර කර තිබේ.

පොලිස් නිලධාරින් දෙදෙනා ලොරි රථය පරීක්ෂා කරන අවස්ථාවේදී උප පොලිස් පරික්ෂකවරයා සතු පිස්තෝලය ක්‍රියාත්මක වී එහි රියැදුරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

කෙසේ වුවද ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ හිතා මතා වෙඩි තැබූ බවයි.

සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

වෙඩි වැදීමෙන් මියගියේ අලව්ව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පෙදරේරුවෙකි.