විශේෂඥ වෛද්‍යවරයා ඝාතනය කළ වව්නියාවේ හිටපු ප්ලොට් නායක නැදුමාරන්ට මරණ දඬුවම!

විශේෂඥ වෛද්‍යවරයා ඝාතනය කළ වව්නියාවේ හිටපු ප්ලොට් නායක නැදුමාරන්ට මරණ දඬුවම!

වවුනියාව මහ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ප්ලොට් සංවිධානයේ වවුනියාවේ හිටපු නායකයා වන එස්.නැදුමාරන්ට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් විසින් ඊයේ (08) මරණ දඩුවම නියම කළේය.

2000 වසරේ අප්‍රේල් මස 20 වෙනිදා විශේෂඥ වෛද්‍ය මොහොමඩ් සුල්තාන් මීරා මොහිදීන් වවුනියාව මහ රෝහලේ සිය රාජකාරී කටයුතු නිමවා නිවසට යන්නට සූදානම් වු අවස්ථාවේදී රෝහලේ ගේට්ටුව අසලදී පිස්තෝලයකින් වෙඩි තබා ඔහුව ඝාතනය කර තිබුණි.

වවුනියාව පෞද්ගලික රෝහලක හිමිකරුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය එස්.සිවමෝහන් සිය සාක්‍ෂියේදී සාක්‍ෂි දෙමින් කියා සිටියේ, තමන් එම කාලයේදී වවුනියාව මහ රෝහලේ සේවය කළ අතර ඝාතනයට ලක් වූ විශේෂඥ ප්‍රසව වෛද්‍යවරයා සවස රාජකාරි නිමවා රෝහලෙන් පිටව ගිය පසු සවස 6.30 ට පමණ දොරෙන් පිටතදී වෙඩි තබා ඔහුව ඝාතනය කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය එම ස්ථානයේ තිබී මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිතා කරන පතරොම් වල හිස් කොපු හතරක් සොයා ගන්නා ලද අතර ඉදිරිපත් වූ සාක්කි මත එවකට වවුනියාවේ ප්ලොට් නායකයාව සිටි නැදුමාරන් නැමැත්තාව පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු ළඟ තිබී මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් හමු වූ අතර එම පිස්තෝලය හා වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ බිම වැටී තිබී සොයා ගත් හිස් පතරොම් කොපු හතර එකිනෙකට ගැලපෙන බව රජයේ රස පරීක්ෂක වාර්තාවේ සදහන් විය.