නුවරඑලිය නගරයේ ආපනශාලා සහ වෙලදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට

නුවරඑලිය නගරයේ ආපනශාලා සහ වෙලදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට

නුවරඑළිය වසන්ත සැණකෙළිය ආරම්භයත් සමග නුවරඑළිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශයයේ පූර්ණ අධීක්ෂණය යටතේ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමග එක්ව ආහාර පාන අලෙවි කරන වෙළදසැල් සහ ආපනශාලා (03) දින හදිසි පරීක්ෂණයට ලක් කෙරිණ.

අප්‍රේල් මාසයේ නුවරඑලිය වසන්ත සමය වෙනුවෙන් නුවරඑළිය නගරයට දස දෙසින් සංචාරකයන් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් පැමිණීමට නියමිත බැවින් සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන සංචාරකයන්ට ලබා දීමේ අරමුණින් හදිසි සෝදිසි මෙහෙයුම් මෙලෙස දියත් කිරීමට කටයුතු කළ බව නුවරඑලිය මහනගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, නුවරඑළිය නගරයේ ආහාරපාන අලෙවි කරන, හෝටල්, වෙළෙදසැල්, අවන්හල්, බේකරි ඇතුළු සියලුම ස්ථාන පරීක්ෂාවට ලක්කර අපිරිසිදු ස්ථාන හා පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩා කර තිබූ වෙළඳසැල් ආපන ශාලා සහ හෝටල් හිමියන්ට විරුද්ධව නඩු පැවරීමට සහ අනිකුත් වෙළඳසැල් පිරිසිදුව හා සනීපාරක්ෂක ලෙස තබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කල බවයි.

මෙම සෝදිසි මෙහෙයුම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නියෝජනය කරන නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් සහභාගී කර ගනිමින් නගර සීමාව කොටස් පහකට බෙදා සෝදිසි මෙහෙයුම් කටයුතු දියත් කෙරිණ.

තවද නුවරඑළිය නගරයට සංචාරයන් සඳහා පැමිණෙන සංචාරකයන් රැගෙන එන පොලිතින් මලු හා නොදිරන අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනුවෙන් සුවිශේෂී ස්ථාන කිහිපයක් සකස් කර ඇති අතර ඒවා නිසි ලෙස බැහැර කරන ලෙසත් අනෙකුත් අපද්‍රව්‍යන්ද නිසි පරිදි බැහැර කිරීමට කටයුතු කරන ලෙසත් සංචාරකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව කිත්සිරි හේරත් මහතා පැවසිය.

COMMENTS