උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මගීන්ට කිසිදු ගැටලුවකින් තොරව තම ගම්බිම් බලා පිටත්ව යාමට ප්‍රවාහන කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවා.

මේ සඳහා කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ සහ අධිවේගී මාර්ග පර්යන්තවල අලුත් අවුරුදු විශේෂ බස් රථ විධිවිධාන සලසා තිබෙනවා.

ඒ අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අප්‍රේල් 07 වැනිදා ආරම්භ වී අප්‍රේල් 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සඳහන් වනවා.

ආරම්භයේදී බස්රථ 150ක් පමණ ධාවනය කෙරෙන අතර අප්‍රේල් 11, 12 සහ 13 යන දිනවල බස් රථ 250කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

අලුත් අවුරුද්දට පෙර සහ පසුව කොළඹ සිට සහ කොළඹ දක්වා අධිවේගී මාර්ගවල බස් සේවා ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා.

මේ අතර, අලුත් අවුරුද්දට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා විශාල බස් රථ පෙළක් සූදානම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

කෙසේ වෙතත්, දැනට පවතින දුම්රිය රියදුරන්ගේ හිඟය සහ දැනට සිටින බොහෝ සේවකයින් නිවාඩු ඉල්ලීම හේතුවෙන් උත්සව සමයේ දුම්රිය ගමනාගමනය අඩාල වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.