අයුතු ලාභ ලබන ව්‍යාපාරිකයන් හෙළිකිරීම ගැන පාඨලී ට පැසසුම්

අයුතු ලාභ ලබන ව්‍යාපාරිකයන් හෙළිකිරීම ගැන පාඨලී ට පැසසුම්

ව්‍යාපාරිකයන් අධික ලාභ ලැබීම පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිකිරීම සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට ගෞරවණීය උත්තමාචාරය පුද කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි.

ව්‍යාපාරිකයන් අයුතු ලෙස ලබන ලාභ, ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාව යටතේ හෙළි කිරීමට රණවක මහතා ඇතුළු සාමාජිකයෝ ක්‍රියාකළ බවත් එවැනි ක්‍රියාමාර්ගයකට දේශපාලනඥයන් යොමුවූ පළමු අවස්ථාව මෙය බවද අසේල සම්පත් මහතා පෙන්වා දෙයි.

උත්සව සමයේදී පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත් එය ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මේ වන විට විපක්ෂය මිල සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් සම්පත් මහතා පවසයි.

ඒ අනුව, වංචනික ව්‍යාපාරිකයන් විපක්ෂයට මූල්‍යාධාර සපයන්නේ දැයි ගැටලුවක් මතුවන බව ද සම්පත් මහතා අවධාරණය කරයි.

එසේ නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මහත්වරුන් වංචනික ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරිපත් විය යුතු බවද ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව අසේල සම්පත් මහතා සඳහන් කළේය.

Share This