හදිසි සාකච්ඡාවකට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය කැඳවන්නැයි නිමල් සිරිපාල ඉල්ලයි

හදිසි සාකච්ඡාවකට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය කැඳවන්නැයි නිමල් සිරිපාල ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ, පක්ෂ සභාපතිවරයාට ධුරයේ කටයුතු කිරීම සඳහා අධිකරණයෙන් වාරණයක් නිකුත් කර ඇති නිසා පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා විධි විධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවත් මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් ලබන 08 වනදා උදෑසන 10.00ට මෙම හදිසි රැස්වීම කැඳවන ලෙසයි, ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ශාන් විජේලාල් ද සිල්වා හැර දේශපාලන මණ්ඩල සෙසු සාමාජිකයින් ඊට කැඳවන ලෙස ද අදාළ ලිපියේ සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිසා සමුලුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් හෙට පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

Share This