ඩොලර් බිලියන පහක ආර්ථිකයක් හදන හැටි පාඨලී කියයි

ඩොලර් බිලියන පහක ආර්ථිකයක් හදන හැටි පාඨලී කියයි

සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ සඳහා දැනුම් ආර්ථිකය වර්ධනය කළ යුතු බව කී රණවක මහතා සාම්ප්‍රදායික ආදායම් උත්පාදන මාර්ගවලට වඩා නව ක්‍රමවේද මගින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ලැබෙන බව සඳහන් කළේය.

එහිදී සුහුරු හෙවත් ස්මාට් තාක්ෂණයට ප්‍රමුඛත්වය හිමිවෙයි. ශ්‍රී ලංකාව ද ඉදිරියේදී නව ආර්ථික ප්‍රවේශ අනුගමනය කළ යුතුය. සුහුරු තාක්ෂණය ඉන් ප්‍රමුඛ වෙයි. ඒ යටතේ ඩොලර් බිලියන පහක ආර්ථිකයක් සැකසිය හැකි බව ජනරජ පෙරමුණේ නායකයා පෙන්වා දුන්නේ, රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණු සමුළුවේදීය.

ශ්‍රි ලාංකිකයෝ ලක්ෂ 40 ක් විදේශ වල වෙසෙති. ඔවුන් ඉලක්ක කළ නිෂ්පාදන ක්‍රියාවලියක් සැකසිය යුතුය. එමගින් ආදායම් උත්පාදනය කළ හැකි බව පාඨලීගේ අදහසයි.

2014 දී බලයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එවැනි ක්‍රියාමාර්ගයක නිරත විය. ඉන් ඉන්දීය ආර්ථිකය ශක්තිමත් වී තිබේ. ඉන්දීය ජනගහනයෙන් විදේශගතව ඇත්තේ සියයට 2 කි. එහෙත් ශ්‍රී ලාංකිකයන් සියයට 20 ක් විදේශගතව තිබේ. ඒ අනුව වඩාත් හොඳින් විදේශ වෙළඳපොල ඉලක්ක කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ අතර ජනතාවට ඇතිවී තිබෙන ආර්ථික පීඩනය, විධිමත් වැඩපිලිවෙලක් යටතේ ඉවත් කළ හැකි බව හෙතෙම අවධාරණය කරයි.

විදුලි බිල සියයට 50 කින් අඩු කළ හැකිය. ඩීසල් හා භූමිතෙල් මිල ද අඩු කළ හැකි බව පෙන්වා දෙන පාඨලී කියන්නේ පාරිභෝගික භාණ්ඩවලින් ව්‍යාපාරිකයන් ලබන අධි ලාභ ඉවත් කළ යුතු බවය.

ඇතැම් ව්‍යාපාර සියයට තුන්සියයක් ලාභ ලබන බව හෙළිව තිබේ. උදාහරණයක් ලෙස සියලු බදු ඇතුළත්ව රටට ආනයනය කරන ලොකු ළූණු කිලෝග්‍රෑමයකට ආනයනකරු වැය කරන මුදල රුපියල් 92 කි.

එහෙත් සිල්ලර විකුණුම් මිල කිලෝග්‍රෑමයක් රුපියල් 700 ඉක්මවයි. මෙවැනි අධි ලාභ පාලනය කිරීමෙන් භාණ්ඩ මිල අඩු කළ හැකිය. ඊට අවශ්‍යවන්නේ විධිමත් ස්ථාවර වැඩපිළිවෙළකි.

ඊට සමගාමීව නිවසේ ආර්ථිකය වර්ධනය කළ යුතුය. වියදම් අඩු කර, ආදායම් වැඩිකිරීම අවශ්‍යතාවකි.

ඒ සඳහා නිවැරදි ආර්ථික කළමනාකරණයක් පැවතිය යුතු බව ජනරජ නායකයා කියයි. සම්පත් සහිත කියුබාව, වෙනිසියුලාව, මියන්මාරය ආදී රටවල් ආර්ථික වශයෙන් බිඳ වැටී ඇත්තේ අයහපත් සහ අසංවිධිත ආර්ථික කළමනාකරණයෙනි.

එහෙත් සම්පත් නොමැති සිංගප්පූරුව, ඩුබායි ආදී රාජ්‍ය විධිමත්, සංවිධිත කළමනාකරණක් මගින් දියුණු ආර්ථිකයක් නිර්මාණය කරගෙන තිබේ.

එවැනි තත්ව අවධානයට ගනිමින් විධිමත්, නිවැරදි ආර්ථික කළමනාකරණයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දිය යුතු බව ඔහු කියයි.

Share This