“රජය ගෙන එන නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන පනත මගින් ජනතා ගැටලු විසදී නෑ”

“රජය ගෙන එන නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන පනත මගින් ජනතා ගැටලු විසදී නෑ”

2016 ගෙන ආ ක්ෂුද්‍ර මූල්‍ය නියාමන පනත මගින් බැට කෑ ජනතාවගේ ඉල්ලීම අනුව නැවත 2024 ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන පනතක් රජය විසින් ගෙන එනු ලැබුවද එම පනත මගින් ජනතාව විසින් ඉල්ලන ලද විසඳුම් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරයි.

ඒ අනුව, මෙම ක්ෂුද්‍ර මූල්‍ය පනත මගින් ඇති වී තිබෙන ගැටළු හා එම පනත සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අද (30) දින එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හමු වීමට බලංගොඩ, හිගුරක්ගොඩ, පොලොන්නරුව, ආදී ප්‍රදේශ වල ක්ෂුද්‍ර මූල්‍ය හා ප්‍රජාමූල සංවිධාන නියෝජිතයින් පිරිසක් පැමිණියේය.

එහිදී මේ පිළිබඳව අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා…

“ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වගේම ප්‍රජාමූල ආයතන සියල්ලම නියාමනය කිරීම සඳහා රජය පනතක් ගෙනල්ලා තියෙනවා.

විශේෂයෙන්ම සමහර බැංකු හා ලීසිං සමාගම් වලට අනුයුක්තව සමාගම් පිහිටුවගෙන ගම්වලට ගිහිල්ලා ඉතා අධික පොලියට ණය ලබාදීලා ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්වයක් බොහෝ ගම්වල ඇතිවෙලා තියෙනවා.

විශේෂයෙන් පහුගිය දවස්වල ඇති වූ කෝවිඩ් අර්බුදය, ඒ වගේම ආර්ථික අර්බුදයත් එක්ක මේ ගැටලුව ඉතාමත්ම බරපතල වෙලා තිබෙනවා. 2016 දී පනතක් ගෙනාවා මේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන්න. දැන් මහ බැංකුවත් ස්වාධීන ආයතනයක් කරලා තියෙනවා.

ඒ නිසා ප්‍රජාමූල සංවිධාන වල අදහස වෙන්නේ ඒ අයව නියාමනය කිරීම සඳහා වෙනම ක්‍රියාවලියක්. ණය දෙන හැටි හා ණය වලට තියෙන වගවීම හරහා ගම්වල ආර්ථිකයට ලොකු බලපෑමක් ඇතිවෙනවා මේ පනතෙන්. විශේෂයෙන්ම සමාගම් විසින් කරගෙන යන ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුත්, ඒ වගේම ස්වාධීනව තියෙන ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුත් නියාමනය කිරීම වෙනම සිද්ධ කරන්න.

ඇත්ත වශයෙන්ම රජය දැන් යම් සමීක්ෂණයක් කළ යුතුයි. එක පැත්තකින් විශාල මුදලක් අස්වැසුම හරහා ගමට යනවා. අනිත් පැත්තේ මේ රජයේ මූල්‍ය සමාගම් ගිහිල්ලා ඒ ජනතාවගෙන් විශාල පොලිය අනුපාත අය කිරීමකුත් සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා මේ රටේ ඇතිවෙලා තියෙන මේ දැවැන්ත ආර්ථික අර්බුදය, මිනිස්සුන්ට තියෙන දැවැන්ත ජීවන බර, විශාල බදු බර එක්ක ග්‍රාමීය ඉතාමත්ම දුප්පත් ගොවි ජනතාව මේකට යටවෙලා ඉන්නේ.

ඒ නිසා ඒ අය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කරන්න කියලා තමයි මේ අයගේ ඉල්ලීම. විශේෂයෙන්ම 1990 දශකයේ මුල් භාගයේදී ජනසවිය වැඩසටහන ඊට පස්සේ ආපු සමෘද්ධි වැඩසටහන, දිවිනැගුම වැඩසටහන දැන් ක්‍රියාත්මක වන අස්වැසුම් වැඩසටහන්. මේවට ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් අති විශාල වශයෙන් ණය ලබාදීලා තියෙනවා.

නමුත් ප්‍රතිඵලය අවසාන වශයෙන් ගත්තහම ශුන්‍යයි. ඒ නිසා මේ පිරිස් මෙයින් ගලවා ගන්නත් ඕනේ. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකයක් ගොඩ නගා ගන්න වැදගත් විදිහට මූල්‍ය කළමනාකරණයක් සිදුවිය යුතුයි. විශේෂයෙන් මේ පනත හදද්දි සහ මේ පනත පාර්ලිමේන්තුවට ගේනකොට මුදල් අමාත්‍යංශය මේ වින්දිතයෝ බවට පත්වෙලා ඉන්න පිරිස් සහ මේකට දායක වෙලා ඉන්න පිරිස් සමග සාකච්ඡාවක් අනිවාර්යෙන්ම කළ යුතුයි. වෙනත් අය මේකේ කොටස්කාරයොත් එක්ක කරන සාකච්ඡාවට අමතරව. ඒ සඳහා අපි ඉදිරියේදී මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා.”

එමෙන්ම මේ සඳහා සම්බන්ධ වූ ඒකාබන්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහ සංගමයේ රේණුකා බද්‍රකාන්ති මහත්මිය, ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් සංවිධානයේ කැඳවුම්කරු සුනෙත් අනුරකුමාර මහතා හා හම්බන්තොට ග්‍රාමීය සංවිධාන සංවර්ධන පදනමේ සම්බන්ධිකාරක පුබුදු මනෝහර මහතාද අදහස් දක්වා සිටියේය.