අක්ෂි රෝහලේ සියලු ශල්‍යකර්ම නවතී

අක්ෂි රෝහලේ සියලු ශල්‍යකර්ම නවතී

ශල්‍යාගාරය තුළ විශබීජයක් පැතිරීම හේතුවෙන් ජාතික අක්ෂි රෝහලේ සිදු කරන සියලු ශල්‍යකර්ම ඊයේ (19) සිට දින නියමයක් නොමැතිව නතර කිරීමට පියවර ගත් බව රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික් මහතා පැවැසීය.

ශල්‍යාගාරය තුළ පැතිරී ඇති විෂබීජය කඩිනමින් හරණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරන්නේ ශල්‍යාගාරය තුළට විෂබීජයක් ඇතුළු වූයේ කෙසේද යන්න ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මෙසේද කීය.

“ශල්‍යාගාරයකට නිකන්ම විෂබීජ ඇතුළු වෙන්නේ නෑ. ඒවා පාලනය කරන්න විශාල පිරිසක් යොදවලා ඉන්නවා. ඒ නිසා මේවා සිදුවුණු විදිහ සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත්ව හොයලා බලන්න ඕනේ. කවදාහරි ශල්‍යාගාරය අරිනකං ලෙඩ්ඩු හරවලා යවලා උඩ බලාන ඉන්නේ නැතුව, ඒ වෙනුවට විකල්ප ක්‍රමයක් ලබා දෙන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම අංශයට පත් කරලා ඉන්න නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ වගකීමක්. ඔහුට ඒ වැඩේ පවරන එක සෞඛ්‍ය ඇමැතිවරයාගේ සහ ආණ්ඩුවේ වගකීමක්. “ශල්‍යාගාරයට විෂබිජයක් ගිහිං, කරන්න දෙයක් නෑ, හදපු දවසක එන්න” එහෙම කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශයක් මොකටද? මේ නතර කිරීමෙන් අවසාන වශයෙන් රෝගියකුගේ ජීවිතය පවා නතර වෙන්න පුළුවන්. කවුද ඒකට වග කියන්නේ? වර්ජනයක් කරපු වෙලාවට ලෙඩ්ඩු ගැන කිඹුල් කඳුළු හෙළන අය මේ වෙලාවේ කොහේද ඉන්නේ? මේවා නොදැක්කා වගේ ඉන්නේ, සැලසුම් සහගතව නිදහස් සෞඛ්‍ය සේවාව වළපල්ලට යවන්නද කියා අපි සෘජුව ප්‍රශ්න කරනවා.

Share This