බණ්ඩි පොහොර මිල පහළට

බණ්ඩි පොහොර මිල පහළට

මෙවර යල කන්නයේ වී වගාව සඳහා MOP හෙවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩ‍ල රැස්වීමේදී මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කර තිබෙන අතර දැනට වෙළඳපොලේ MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේ දී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් අවම මිලක් යටතේ පොහොර ලබාදීමට කටයුතු කරන නිසා මේ වන විට රසායනික පොහොර අලෙවිය සම්බන්ධව වෙළඳපොල තුළ තරඟකාරීත්වයක් මතු වී තිබෙන බවද එහි වාසිය ගොවි ජනතාවට ලැබෙන පරිදි පසුගිය යල කන්නයේ රුපියල් 42,000කට පැවති යූරියා පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 11,000 දක්වා අවම වී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ඉදිරි කාලයේ දී යූරියා පොහොර මිල අඩුවූ අයුරින් TSP හෙවත් මඩ පොහොර සහ MOP හෙවත් බණ්ඩි පොහොර මිල ගණන් ද තව දුරටත් අඩු වනු ඇති බව ද පෞද්ගලික අංශයේ පොහොර අලෙවිකරුවන් අමාත්‍යවරයා සමඟ ප්‍රකාශ කර තිබේ.