පෙරළුණු චීන නෞකාවේ තිබී මළසිරුරු 14 ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

පෙරළුණු චීන නෞකාවේ තිබී මළසිරුරු 14 ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වුු ගැඹුරු මුහුදේදී පසුගිය 16 වන දින අනතුරට පත්ව පෙරැළී ගිය චීන ධීවර නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 39 දෙනාගෙන් 14 දෙනකුගේ සිරුරු සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම්කරුවන් සමත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.

මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවේ කිමිදුම් කණ්ඩායමක් එක්ව ඇති අතර ඔවුන් උඩුකුරුව පෙරලී තිබු චීන ධීවර යාත්‍රාවේ කපිතාන්වරයාගේ මැඳිරියෙන් සහ නවාතැන් මැඳිරි ප්‍රදේශයෙන් එම මළසිරුරු සොයා ගෙන ඇති බවයි, මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියාසිටියේ.

එමෙන්ම ධීවර යාත්‍රාවේ කාර්ය මණ්ඩලය නවාතැන් ගන්නා කාමර තුළ සහ අනෙකුත් මැඳිරි තුළ නරක්වූ මළසිරුරු 12 ක් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් හදුනා ගෙන ඇතත් එම මළසිරුරුවල නරක්වූ ස්වභාවය සහ එම සිරුරු ගොඩ ගැනීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන්ට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන එම මළසිරුරු ඇති ස්ථාන සිතියම් ගත කළ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම එම තොරතුරු සහ සිතියම මෙන්ම ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳවත් අනතුරට පත් ධීවර යාත්‍රාවට ආරක්ෂිතව කිමිදුම්කරුවන්ට ඇතුලු විය හැකි සහ පිටවිය හැකි පිවිසුම් පිළිබඳවත් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් චීන කිමිදුම්කරුවන් රැ⁣⁣ගෙන එම ස්ථානයට පැමිණ ඇති MV SHANDONG DE LONG නැමැති චීන නෞකාවේ කපිතාන්වරයා ඇතුලු කිමිදුම්කරුවන්ට ඊයේ (23) ලබාදී තිබේ.

ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාව නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්ද සමග ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව තිබු මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර තිබුණි.

Share This