තවත් අයව පටලවන්නේ නැතුව තමන් දීපු සල්ලි ඉල්ල ගන්න – පිරමීඩ ජාවාරම ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම් දීමක්

තවත් අයව පටලවන්නේ නැතුව තමන් දීපු සල්ලි ඉල්ල ගන්න – පිරමීඩ ජාවාරම ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම් දීමක්

පිරමිඩ් වංචා සඳහා රජයේ සේවකයන්, පොලිස් සේවයේ පුද්ගලයන් සහ ගුරුවරුන් ද ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

මහ බැංකු අධිපතිවරයා එලෙස ප්‍රකාශ කළේ ඊයේ (ජූනි 1) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදී ය.

පිරමිඩ් යෝජනා ක්‍රම සහ ක්‍රිප්ටෝ කරන්සි යන නීති විරෝධී වැඩපිළිවෙළවල් සඳහා මහ බැංකුව සහය නොවන බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

නීති විරෝධී පිරමිඩ් වංචාවලට සම්බන්ධව සිටින පුද්ගලයන් ඉතා ඉක්මනින් කළ යුත්තේ පිරමිඩ් යෝජනා ක්‍රමවලට තව තවත් පුද්ගලයන් හඳුන්වා දීම නොව පිරමිඩ් යෝජනා ක්‍රියාත්මක කරන ආයතන වලින් තමන් යොදවා ඇති මුදල ඉල්ලා ගැනීම බව ද අධිපතිවරයා කියා සිටියේ ය.

පිරමිඩ් යෝජනා ක්‍රමවලට සම්බන්ධ වී වින්දිතයෙකු වී සිටින තැනැත්තෙකු ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට බිය විය යුතු නොමැති බව ද ඔවුන් සිදුකළ යුත්තේ පිරමිඩ් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ විස්තර ලබා දී ඔවුන්ව නීතිය හමුවට හසුකර දීම බව ත් අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

පිරමිඩ් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිව පොලිසිය, රහස් පොලිසිය සහ නීතිපති ඇතුළු නීතිමය පාර්ශව සම්බන්ධ කර ගනිමින් මහ බැංකුව කටයුතු කරගෙන යන බව ද පිරමිඩ් යෝජනා ක්‍රම වලට සම්බන්ධ වීමෙන් සිදුවන්නේ මුදල් ඉපයීමක් නොව තමන් මහන්සියෙන් ඉපැයූ මුදල් නැතිකර ගැනීමක් පමණක් බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරට ත් කියා සිටියේ ය.