සංගීත සංදර්ශනයකදී කොල්ලොත් එක්ක නටපු හාමුදුරුවෝ මහා සංඝරත්නයෙන් සමාව ගනියි!

සංගීත සංදර්ශනයකදී කොල්ලොත් එක්ක නටපු හාමුදුරුවෝ මහා සංඝරත්නයෙන් සමාව ගනියි!

සංගීත සංදර්ශනයක් අතරතුර නර්තනයේ යෙදුණු ස්වාමීන් වහන්සේ නමක් පිළිබදව වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය විය.

කෙසේවෙතත්, මේ සිදුවීමෙන් පසුව නර්තනයේ යෙදුණු හිමිනම තමන් අතින් සිදුවූ වැරැද්ද පිළිගෙන ඊට සමාව ඉල්ලන වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ තබා තිබූ සටහන මෙසේය.

සියළුම මහා සංඝරත්නයට බැණුම් අස්සවමින් පසුගිය දිනෙක නර්තනයක යෙදුන හිමි නම මහා සංඝරත්නයෙන් සමාව ගත්තේ ය.

කාළයෙන් කාළයට ශාසනයට විවිධ අය ඇතුළත් වෙති. ඔවුන් විවිධ දේවල් කරති. ඔවුන් කරනා සෑම දේකටම මෝඩ මිනිසුන්ගෙන් බැණුම් අසන්නට වී තිබෙන්නේ සිල්වත් ගුණවත් අහිංසක සැබෑ භික්ෂූන් වහන්සේලා අතළොස්සට ය.

නමුත් ධර්ම විනය දන්නා සැබෑ උපාසක උපාසිකාවන් මහසඝරුවනට බැන වදින්නේ නැත. ඔවුන් සංඝරත්නයේ සැබෑ ගුණ දනී. ඔවුන් පුද්ගල විවිධත්වය දනී. අතීතයේ මෙන්ම වර්තමානයේදීත් කෙළෙස් බර පුද්ගලයෝ කරන කියන දේවල් හදුනා ගන්නට බුද්ධියක් ඔවුන්ට තිබේ. ඔවුන් පුද්ගලයින් සරණ යන්නේ නැතිව සංඝරත්නයම සරණ යති.

සංඝරත්නය සරණ නොයා පුද්ගලයින් සරණ යන අය ගිහියන්ගෙන් ශාසනයට ආ පුද්ගලයාගේ වරදට සමස්ත සංඝරත්නයටම බැන වදිති. විනය විරෝධීව නොහොඹිනා ක්‍රියාව කළ හිමි නමට වඩා හානියක්, මේ බැන වදින මෝඩ මිනිසුන් විසින් ශාසනයට කරයි. ඒ සැබෑ සිල්වත් ගුණවත් සංඝරත්නය අපහසුතාවයට සහ නිකරුණේ නින්දා අපහාස වලට ඇද දමමිනි.

මෝඩ ගිහියෙක් සසුන්ගතව කරනා මෝඩ වැඩ නිසා සැබෑ භික්ෂූන්ට හිරිහැර කරන්නට මෝඩයෝ කටයුතු කරති. එයට හේතු විමසන්නේ නැත.

වර්තමානයේදී සසුන් ගත වන සමහරුන් අතර විවිධ මතවාද, බලාපොරොත්තු සහ අවශ්‍යතා තිබේ. ගිහියෙක් සැබෑවටම සසුන් ගත වන්නේ නිවන්දැකීම පිණිසම පමණක් වූවත්, වර්තමානයේදී නම් සමහර දේශපාලකයෝ දේශපාලනය වෙනුවෙන් තම තමන්ගේ ඉත්තන් රිංගවා තිබේ.

අන්‍යාගමිකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන් සසුන් ගත කරවා නොමනා කටයුතු කරවමින් තිබේ. කෙළෙස් බර හිස් පුද්ගලයෝ බඩ ගෝස්තරය වෙනුවෙන් සසුන් ගත වී තිබේ. අති දක්ෂ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කර ගන්නට සසුන් ගත වී තිබේ. වර්තමාන ශාසනය අවුල් ජාලාවක් කර තිබේ. අවශ්‍ය අධ්‍යාපනය ලබා නොදී ශාසන ක්‍රමයම අවුල් කර සහ කරවා තිබේ. තවත් නොමනා වැඩ බොහෝ ඇත.

භාග්‍යවතුන් වහන්සේ පනවා ඇති විනය නීති අනුව කටයුතු නොකරන සමහරුන් විවිධ නොමනා කටයුතු කරති. ඔවුන් කරනා දේට සංඝරත්නයට බැන වදින්නේ නැතුව, එම වරද කළ පැවිදි වෙස් ගෙන සිට්න ගිහියා නිවැරදි කර ගන්නට සියල්ලෝම බුද්ධිමත් වෙත්වා!

පළි ගැනීමකින් තොරව වරද කරුවන් නිවැරදි කර ගනිත්වා! මේ ශාසනය නොමඟ ගිය අය සුමගට ගන්නා ස්ථානක් මිස පළි ගන්නා තැනක් නොවේ.

සංඝාධිකරණයක අවශ්‍යතාවය මතු වන්නේ මෙවැනි අවශ්ථාවලදී ය. සංඝාධිකරණයට නීතිමය බලය ලබා දෙත්වා! එවිට එවැනි අයව ශාසනයෙන් නෙරපිය හැකිය. බලයක් නැති තැන කළ හැකි වන්නේ වරද කරුගෙන් ඉල්ලීමක් කිරීමට පමණී. එයින් ශාසනික නිමාව ඉක්මන් වේ. බලධාරීන් සංඝාධිකරණයකට නීතිමය බලය ලබා දෙත්වා!

මෙම ගැටළුවට මැදිහත් වූ මහ සඟරුවනට නමස්කාර වේවා!

තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ.

Share This