තුන්වැනි මහලෙන් වැටී එක්දරු පියා මරුට

තුන්වැනි මහලෙන් වැටී එක්දරු පියා මරුට

මොරටුව, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් බිමට වැටී අද (03) අලුයම පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අඟුලාන පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ පදිංචිව සිටි (24) රසික සම්පත් මාටින් නමැති එක්දරු පියෙකි.

මරණකරු තුන් වෙනි මහලෙන් බිමට වැටී ඇති අයුරු කසල ගෙනයන්නට පැමිණි නගර සභා ලොරියේ අයකු දැක පොලිසියට කළ දැනුම් දීමට අනුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසීය.

ඔහුගේ බිරිඳගෙන් සහ දෙමව්පියන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම මරණකරු අලුයම 2ට පමණ සයවෙනි මහලේ පවතින මළගෙදරකට යෑමට පිටත් ව ඇතැයි පොලිසිය පැවසීය.

සාමාන්‍යයෙන් රාත්‍රියේ ගෙදරට පැමිණෙන අවස්ථාවන්වලදී නිවැසියන්ගේ නින්ද කැඩීමට අකමැති බව කියන මෙම පුද්ගලයා කොරිඩෝව දිගේ පැමිණ තුන්වන මහලේ ජනේලයෙන් නිවසට ඇතුළු වීම පුරුද්දක් ලෙස සිදු කළ බව ඔහුගේ නිවැසියන්ගෙන් ලද කටඋත්තරයේ සඳහන් බව පොලීසිය පැවසීය.

එසේ ජනේලයෙන් නිවසට පැමිණීමේ දී මොහුට යම් අනතුරක් සිදුවූයේ ද එසේත් නොමැති නම් මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න බව සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

වෘත්තියෙන් ධීවරයෙකු බව කියන මෙම මරණකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙක් බව පොලිසිය පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් අඟුලාන පොලිස් ස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රංජිත් පොලිස් සැරයන් ප්‍රසන්න යන නිලධාරීහු සිදු කරති.