ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 18 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද (15) කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් එක් අයෙකු 38 හැවිරිදි කොළඹ, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර අනෙක් පුද්ගලයා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා කටුනායක කෝවින්න ප්‍රදේශයේ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ වෙළෙඳ සැළක් පවත්වා ගෙන යන අතර මොවුන් දෙදෙනා එම ප්‍රදේශයේම තාවකාලිකව නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටිති.

මෙම කාන්තාව අද කටුනායක 18 කණුව ප්‍රදේශයේ ආපන ශාලාවකින් ආහාරපාන ලබා ගෙන, මෙම ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටුවක් ලබා දී ඇති අතර, එම ආපනශාලා හිමිකරුවන් මේ පිළිබඳව කටුනායක පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව මෙම කාන්තාව අත් අඩංගුවට ගත් කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් , ඇයගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව , මෙම ජංගම දුරකථන අලුත්වැඩියාකරු ද අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.