මියන්මාරයේ සහ රුසියාවේ සිරවී සිටින ලාංකිකයින් බේරගන්න විපක්ෂයේ තිදෙනෙක් දිවයිනෙන් පිටවෙයි

මියන්මාරයේ සහ රුසියාවේ සිරවී සිටින ලාංකිකයින් බේරගන්න විපක්ෂයේ තිදෙනෙක් දිවයිනෙන් පිටවෙයි

මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ – තරුණියන් 49 දෙනා සහ රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරාගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ රාජතාන්ත්‍රික මෙහෙයුමක් සදහා එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු අද (27) අලුයම දින 10 ක සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගියහ.

මෙම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, ජේ.සී.අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඇතුළත් වී සිටි අතර මොවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 05 බැගින් ගත කරමින් මෙම බේරා ගැනීමේ මෙහෙයුම දියත් කිරීමට නියමිතය.

මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිස ත්‍රෛයි නිකායික මහ නාහිමි වරුන්ගේ සහ විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම් රැගත් ලිපි රැගෙන මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් තායිලන්තයේ, මියන්මාරයේ සංඝ නායක හිමිවරුන් සහ රුසියාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් හමු වී භාර දීමට නියමිතය.

මෙම සංචාරය පිළිබඳව වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.

පසුගිය කාලය පුරා මේ දරුවන් බේරා ගැනීම සදහා විවිධ උත්සාහයන් මෙරට මගින් ගෙන තිබුණත් ඒවා මේ වනවිට සාර්ථක වී නැහැ.

නමුත් නේපාලයේ, උගන්ඩාවේ දරුවන් බේරා ගෙන යනවා අපි දැක්කා. මේ ජාත්‍යන්තර අත්දැකීම මත විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදිහට මේ දරුවන් බේරා ගැනීමට අපි පියවර ගැනීමට ඉදිරිපත් වුණා.

මෙම සංචාරය මියන්මාරයේ වද බන්ධන වලට ලක් වී සිටින දරුවන්ගේ දෙමාපියන් ගේ කදුළු පිස දැමීමේ උත්සාහයක් බව ද වසන්ත යාපා මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී අපි ඵලදායක ක්‍රියාමාර්ග හරහා යම්කිසි විදියකින් තෙවන පාර්ශ්වයක් මැදිහත් කර ගෙන මෙම දරුවන් බේරා ගැනීමට උත්සාහ ගන්නවා.

අපි මුලින්ම තායිලන්තයේ බැංකොක් නුවර වෙත ගොස් එතැන් සිට මියන්මාරයේ යැංගුන් නුවර බලා පිටත්ව යාමට සැලසුම් කර තිබෙනවා.

මෙම සංචාරයේ දී මියන්මාර බලධාරීන් සමග පමණක් නොව තායිලන්තයේ අධිකරණ, විදේශ කටයුතු අමාත්‍යවරුන් සමග මෙන්ම එරට මානව හිමිකම් ජාත්‍යන්තර සංවිධාන ද සමගත් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම දරුවන් බේරා ගැනීම සදහා රජය පිළිබඳවම විශ්වාසයක් තබා නොගෙන, විශේෂයෙන් රාජතාන්ත්‍රිකභාවයක් නොමැති තෙවන පාර්ශවයන් සමග ඵලදායක ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. යැයි ද වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Share This