මෛත්‍රීගේ ප්‍රකාශය නීතිපති ට

මෛත්‍රීගේ ප්‍රකාශය නීතිපති ට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලද ප්‍රකාශය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට යොමුකර ඇතැයි වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයන් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) ඒ මහතාගෙන් පැය 06ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ඊයේ පෙරවරු 10.00ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි අතර ප්‍රශ්න කිරීම අවසන් වූවේ සවස 4.00ටය.

හිටපු ජනාධිපතිවරයා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඒ ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා යොදවා තිබිණි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳව තමා දන්නා බවත් අධිකරණයක් ඉදිරියේ ඒ පිළිබඳව රහසිගත තොරතුරු හෙළි කළ හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත්දා මහනුවර දළදා මාලිගාවේදී ජනමාධ්‍ය හමුවේ කියාසිටියේය.

එම ප්‍රකාශයෙන් පසුව විවිධ පාර්ශ්වයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර තිබුණේ, හිටපු ජනාධිපතිවරයා කැඳවා මේ පිළිබඳව ප්‍රශ්න කළ යුතු බවටයි.

මහජන ආරක්ෂාව භාර ඇමැති ටිරාන් අලස් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නේ ඉන් අනතුරුවය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ මංගල දෙහිදෙණියගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස එම දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දීමක් කර තිබිණි.

එම දැනුම්දීමට අනුව ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හිටපු ජනාධිපතිවරයා පැමිණි අතර, එහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ඇරැඹිණි.

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටීමට පැමිණෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඇතුළු ආධාරකරුවෝ රැසක් එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටට රැස්ව සිටියහ.

Share This