ශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල විශේෂයක් හමුවෙයි (PHOTOS)

ශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල විශේෂයක් හමුවෙයි (PHOTOS)

ශ්‍රී ලංකාවට ආවේණික කෙතල (කෙටල) විශේෂයක් ගාල්ල, හියාරේ වන රක්ෂිතයෙන් සොයා ගැනීමට හැකි වූ බව පර්යේෂකයෝ පිරිසක් පවසයි.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය දීප්ති යකන්දාවල සහ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් විසින්.

ඒ පිළිබඳ ජාත්‍යන්තර Phytotaxa නමැති උද්භිද විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් හමුවන කෙතල විශේෂ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යන අතර ඉන් විශේෂ 13ක් ම ශ්‍රී ලංකාවට ආවේණික ඒවා වනවා.

මෙම නව කෙතල විශේෂය Lagenandra limbusleviterapertae ලෙස නම්කරන තිබෙනවා.

මේ දක්වාම ගාල්ල හියාරේ ජලාශය ආශ්‍රිත වනාන්තර ප්‍රදේශයෙන් හැර ලොව වෙනත් කිසිම ස්ථානයකින් මෙම නව විශේෂය වාර්තා වී නැති බැවින් එම විශේෂය සිංහල භාෂාවෙන් “හියාරේ කෙතල” යනුවෙන් නම් කිරීමට ද පර්යේෂකයෝ කටයුතු කර තිබෙනවා.

මීට පෙර මෙම ශාකය හියාරෙන් හමු වී තිබුණ ද එකල එය හඳුනාගෙන තිබුණේ කෙතල වර්ගයක් නොව කෙකටිය වර්ගයක් ලෙසිනි. එම අවස්ථාවේ Aponogeton crispus නමැති කෙකටිය විශේෂය ලෙස හඳුනාගෙන තිබූ මෙම ශාකය 1987 වර්ෂයේදී කෙකටිය වි‍ශේෂයක් නොව Lagenadra koenigii නමැති කෙතල විශේෂය ලෙස හඳුන්වා තිබිණි.

Share This