මහනුවර – මහියංගණ බස් අනතුර වැළක්වූ සෙබළා අගයයි

මහනුවර – මහියංගණ බස් අනතුර වැළක්වූ සෙබළා අගයයි

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වීමෙන් වළක්වා ගෙන එම බස් රථයෙහි ගමන් ගත් 50 කට අධික මගී ජීවිත බේරා ගැනීමට ක්‍රියාකළ සාමාජිකයාගේ වීර ක්‍රියාව අගයමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ඔහු ඇගයීමට ලක් කළේය.

මෙලෙස ඇගයීමට ලක් කළේ, 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න නම් කෝප්‍රල්වරයායි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් මත ඊයේ (01) කෝප්‍රල්වරයා යුද්ධ හමුදාධිපති කාර්යාලයට කැදවා ඔහුකළ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡනය පිළිගන්වනු ලැබීය.

බස් රථය උඩුදුම්බර ප්‍රදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා වංගුවක් හැරවීමට යාමේදී රියදුරු අසුනෙන් ඉවතට විසි වී ඇති අතර, මීටර් 50ක් පමණ දුරක් රියදුරු නොමැතිව බස් රථය ගමන් කර ඇත.

එම සිදුවීම දුටු බස් රථයේ ගමන්කරමින් සිටි යුද්ධ හමුදා සෙබල කෝප්‍රල්වරයා යුහුසුලුව ක්‍රියාත්මක වී රියදුරු නොමැතිව කඳුකර ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ එම රථයේ රියදුරු අසුනට ගොස් මහත් පරිශ්‍රමයක් දරා බස් රථය පාලනය කර නවත්වාගැනීමට සමත් විය.

Share This