නඩු විභාගයක් අතරතුරදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

නඩු විභාගයක් අතරතුරදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ උසාවියක දී පුද්ගලයෙකු නඩුවක තීන්දුවක් ලබාදෙන අවස්ථාවේදී විනිසුරුවරියට පහරදීමට උත්සහ කළ පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අපරාධ චෝදනා තුනක් සම්බන්ධයෙන් වරදකරු වූ තරුණයකුට සිර දඬුවම් නියම කළ අවස්ථාවේ, එම තරුණයා නීතීඥවරුන් තල්ලු කර දමා, විනිසුරු අසුනේ සිටි විනිසුරුවරිය වෙත කඩා පැන ඇයට පහර දී තිබේ.

අධිකරණ ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරීන් පමණක් නොව, නීතීඥවරුන් ද වහා ක්‍රියාත්මක වී මේරි කේ හෝල්ටස් නමැති එම විනිසුරුවරිය බේරා ගැනීමට තරුණයා වෙත කඩා පැන්න අතර එම දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

30 හැවිරිදි ඩියෝබ්‍රා ඩෙලොන් රෙඩෙන් නමැති එම තරුණයා මෙල්ල කර ගැනීමට අධිකරණ ශාලාවේ ආරක්ෂක නිලධාරීන්ට, විනිසුරුවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත්, ගුටි බැට හුවමාරු සිදුවුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් පසුව තරුණයා මාංචු දමා අධිකරණ ශාලාවෙන් පිටතට රැගෙන ගොස් තිබේ. පහරදීමෙන් විනිසුරුවරියට සුළු තුවාල සිදුවිය.

ඩියෝබ්‍රා ඩෙලොන් රෙඩෙන්ට සිර දඬුවම් නියම කිරීමට විනිසුරුවරිය කටයුතු කළේ පුද්ගලයකුට පහර දීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමිණි.

මේරි කේ හෝල්ටස් වසර 27 ක පලපුරුද්දක් ඇති විනිසුරුවරියකි.

Share This