පාකිස්තාන මහ මැතිවරණය අද

පාකිස්තාන මහ මැතිවරණය අද

පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතයි.

මිලියන 128 ක පිරිසක්, මෙවර මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මහ මැතිවරණය පැවැත්වීමට පැය කිහිපයකට පෙර බලුකිස්ථාන් ප්‍රාන්තයේ පිපිරීම් මාලාවක් වාර්තා වූ අතර ඉන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මැතිවරණ අපේක්ෂකයින් දෙදෙනෙකුගේ කාර්යාල අසල යතුරුපැදි දෙකක අටවා තිබු බෝම්බ දෙකක් මෙලෙස පුපුරාගොස් ඇති බව සඳහන්.

එම තත්ත්වය හමුවේ ප්‍රාන්ත හතරේ ආරක්ෂාව තරකර තිබේ.

පාකිස්තාන මහ මැතිවරණයට සමගාමීව, පළාත් සභා මැතිවරණය ද පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් 266 දෙනකු තෝරා පත් කර ගැනීමටය. පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ පන්ජාබ්, සිං, බලුකිස්තාන් සහ කයිබර් පක්තුන්ක්වා පළාත් සඳහා නියෝජිතයන් පත් කර ගැනීමටය.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය දැඩි ලෙස මර්දනයට ලක් කර ඇති බැවින්, මෙවර මහ මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ ලෙස ඉදිරියට පැමිණ සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් නායකත්වය දරණ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය’ සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු 35 හැවිරිදි බිලාවල් බූතෝ නායකත්වය දරණ පාකිස්තාන ජනතා පක්ෂයයි. 2008 වසරෙන් පසු, පාකිස්තාන ජනතා පක්ෂය මැතිවරණ ජයක් අපේක්ෂා කරයි.