කටාන හිටපු උප සභාපතිගේ ඝාතකයා වහ බීලා!

කටාන හිටපු උප සභාපතිගේ ඝාතකයා වහ බීලා!

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයකු වස පානය කර ඉකුත් 29 වැනිදා රාත්‍රියේ වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය.

මෙලෙස වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ, වරකාපොළ මායිනොළුව බෝගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි රන්පොඩි දේවයලාගේ රවිදු ධම්මසිරි නමැති පුද්ගලයෙකි.

වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති පුද්ගලයා කලකට ඉහතදී බිරිඳ සමග කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා වන 73 හැවිරිදි පීටර් හපුආරච්චි (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) නමැත්තාගේ වනාතවිල්ලු‍ව 12 කණුව අවට පිහිටි අක්කර 100ක පමණ පොල් ඉඩමක මුරකාර සේවයට ගොස් තිබේ.

එම පොල් ඉඩමේ මුරකරුවන් කිහිප දෙනකු සේවය කරන බව පොලිසිය පැවසීය. සැකකාර පුද්ගලයා හා බිරිඳ ද එක් මුර කුටියක පදිංචිව සිට ඉඩමේ කොටසක් රැක බලා ගනිමින් සිට ඇති බවත් පොලිසිය කියයි.

පොලිසිය උප සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටින අවස්ථාවේ දී අනාවරණය වී ඇත්තේ උප සභාපතිවරයා වත්තේ සේවය කරන මුර පවුල සමග කිසියම් ආරවුලක් ඇති කරගෙන ඇති බවය.

පසුව හිටපු උප සභාපතිවරයා ඉකුත් 27 වැනිදා සවස ඉඩමට සිය කැබ් රථයෙන් පැමිණෙන අයුරු තවත් මුරකරුවකු දැක තිබේ.

සැකකරු සමග උප සභාපතිවරයා බහින් බස් වීමක් සිදු වන්නට ඇති බවටත් පසුව මුරකාර යුවළ උප සභාපතිවරයා මුර කුටිය තුළට රැගෙන ගොස් අත් පා ගැට ගසා රාත්‍රී ඝාතනය කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.

වෙනත් මුරකරුවකු 28 වැනිදා පෙරවරුවේ සැකකරු පදිංචිව සිටින මුර කුටිය අසලට පැමිණ බලද්දී උප සභාපතිවරයාගේ කැබ් රථය දැක ඇති අතර වත්තට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුවට ඉබි යතුරු දමා ඇති බව දැක ඇත. පසුව මුරකරු සැකකාර මුර යුවළ පදිංචිව සිටි මුර කුටියට ගොස් දොරවල් විවෘත කර බලද්දී උප සභාපතිවරයාගේ අත් පා ගැට ගසා ඝාතනය කර ඇති අයුරු දැක වනාතවිල්ලු‍ව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

සැකකරු හිටපු උප සභාපතිවරයා ඝාතනය කර බිරිඳ සමග වරකාපොළ නිවසට රාත්‍රී පැමිණ ඉකුත් 29 වැනිදා වස පානය කර වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවත් වරකාපොළ පොලිසිය පැවසීය.

Share This