සංචාරක බෝට්ටුවක් පෙරළී යාමෙන් 21ක් ජීවිතක්ෂයට

සංචාරක බෝට්ටුවක් පෙරළී යාමෙන් 21ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ සංචාරක බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, මගී ධාරිතාව ඉක්මවා මගීන් රැගෙන යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි.

බෝට්ටුව ගිලී යන අවස්ථාවේ එහි මගීන් 50දෙනෙකු පමණ සිට ඇති අතර එහි ධාරිතාව ඇත්තේ මගීන් 25දෙනෙකුට පමණක් බවයි, එහි පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර බෝට්ටුව මඩ සහිත ජලයේ පෙරළී ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බෝට්ටුවේ පැවති අධික තදබදය නිසා මෙම තට්ටු දෙකක් සහිත බෝට්ටුව පෙරළී ගිය බව මලප්පුරම් දිස්ත්‍රික්කයේ පොලිස් අධිකාරී අබ්දුල් නසාර් රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබේ.

බොහෝ මගීන් බෝට්ටුව යට සිරවී සිටි බැවින් ගලවා ගැනීමේ කටයුතු අඩාල වූ බවත්, තුවාල ලැබූවන් අතර පාසල් නිවාඩුවට පැමිණි කාන්තාවන් සහ ළමුන් ද සිටින බව සඳහන්.

මේ අතර, රෝහල් ගත කළ පුද්ගලයින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද විදෙස් මාධ්‍ය පවසයි.

අතුරුදහන් වූ මගීන්ගේ නිශ්චිත සංඛ්‍යාව පැහැදිලි නැති බවත් අනතුරට හේතුව සොයා බලධාරීහු පරීක්ෂණ පවත්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.