කැනඩාවේදී ශ්‍රී ලාංකිකයෙකුට ඩොලර් මිලියන 35ක ලොතරැයි ත්‍යාගයක්

කැනඩාවේදී ශ්‍රී ලාංකිකයෙකුට ඩොලර් මිලියන 35ක ලොතරැයි ත්‍යාගයක්

පසුගිය ජූනි මස 06 වැනි දින Ontario Lottery and Gaming Corporation (OLG) දිනුම් අදින ලද Lotto Max ලොතරැයියේ ඉහළම ත්‍යාග මුදල වූ ඩොලර් මිලියන 35ක් දිනා ගැනිමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජේයි ජයසිංහ සමත් වී තිබේ.

වින්ඩ්සර් හි පදිංචි ජේයි ජයසිංහ සාමාන්‍ය කම්කරු වෘත්තියක නිරත වෙමින් සිය දියණියට අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් බලාපොරොත්තු සහිතව කැප වුන පියෙකි. විශේෂත්වය වන්නේ මෙම ජයග්‍රහණය ඔහුට ලැබී තිබුණේ සිය දියණියගේ විශ්වවිද්‍යාල උපාධිය හිමි කරගෙන හරියටම සතියකට පසුවය.

ඔහු මේ ජයග්‍රහණය සම්බන්ධව විදෙස් මාධ්‍ය වෙත හැඟීම්බර ප්‍රකාශයක් සිදුකර තිබිණි.

“ජූනි 6 දිනුම් ඇදීමෙන් පසු දින මාත් මගේ බිරියත් දැනගත්තා ජයග්‍රාහී ලොතරැයි ටිකට් පත වින්ඩ්සර් හි විකුණා ඇති බව. මට එක තත්ත්පරයකදි හිතුනා ඒක මගේ ටිකට් එක වෙන්න ඇති කියලා. ඒත් මම ඒ අවස්ථාවේ ඒක මනසින් ඉවත් කළා.”

ටිකට් පරීක්ෂා කරන්න ගිය මට ත්‍යාග මුදල තිරයේ දිස්වූ විට අදහා ගන්න බැරි වුනා. මං නැවත නැවතත් ටිකට් පත ස්කෑන් කරමින් මගේ ජයග්‍රහණයට හිමි ත්‍යාගයේ බිංදු ගණන ගණන් කළා.

ඇත්තටම මට එය සැබෑවක් බව දැනුනෙ නෑ. මගේ හදවත ගැහෙන්න ගත්තා. මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන යන්න උනා. ඒ මොහොතෙන් පසු ගත වූ වෙලාව මට මතක නැති තරම්.”

“මං හිටියේ තිගැස්සිලා. මේ සුබ ආරංචිය බිරිඳට කියන්න මට ඕන උනා. මම ගිහින් ඇයව බලන්න ගියා. කාර් එකෙන් බැහැලා මං ඇයව බදා ගත්තා. අප අවට සිදුවෙන කිසි දෙයක් ගැන අපට අවබෝධයක් තිබුණෙ නෑ. අපි මේ ලෝකෙ ඉන්නවා වගේ දැනුනෙ නෑ. එයයි මමයි ඇවිත් නිවසේ ගබඩාවට ගිහින් ත්‍යාග මුදල පිලිබඳ අපේ හිමිකම ලොතරැයි ආයතනයට ප්‍රකාශ කළා.” ඔහු කියා තිබිණි.

දැන් ජයසිංහ සතුව මහා සැලසුම් ගොඩකි. ඔහු කම්කරු වෘත්තියෙන් සපයා ගත නොහැකි වූ තමන්ගේම නව නිවසක්, නව වාහනයක්, සංචාරය සඳහා අවස්ථාවක් සහ දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම මුදල වියදම් කිරීමට සැලසුම් කර තිබේ.

“මම මාර්ග චාරිකා වලට කැමතියි. මට සෑම විටම අවශ්‍ය වූයේ රට ගවේෂණය කිරීමට, රොකීස් කඳු පන්ති දැකීමට සහ කැනඩාවේ ස්වභාවික සුන්දරත්වය වින්දනය කිරීමටයි. මට මගේ පවුලේ අය බලන්න ඕන. අපට උදව් කිරීමට අවශ්‍ය විශේෂ පුද්ගලයින් කිහිප දෙනෙක් ඉන්නවා. මෙම ජයග්‍රහණයෙන් කොටසක් මගේ හදවතට සමීප පුණ්‍යායතන සඳහා යවන්න මං සූදානම්.”

“මගේ අනාගතය ගොඩනගා ගැනීමට කැනඩාවට පැමිණීමට හැකිවීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මේ තීරණය මගේ ජීවිතය වෙනස් කරන බව මම දැන සිටියත් මේ වගේ වාසනාවක් මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. අපේ සිහිනවලට දැන් සීමාවන් නැහැ.” ඔහු කීවේය.

ටොරොන්ටෝ හි OLG ත්‍යාග මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට ජයසිංහ පැවසුවේ මෙසේය. “මගේ අවස්ථාව ලැබෙනු ඇතැයි මම නිතරම බලාපොරොත්තු වුනා. මගේ දුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා හරියටම සතියකට පසු මම මේ ත්‍යාගය දිනා ගත්තා. එය ජයග්‍රහණ දෙකක් ලෙස දැනුණා.”