ජේතවනාරාමයේ අකුණු සන්නායකය උස්සන්න හැදූ සිද්ධියට ගායන ශිල්පිකුත් අහුවෙලා

ජේතවනාරාමයේ අකුණු සන්නායකය උස්සන්න හැදූ සිද්ධියට ගායන ශිල්පිකුත් අහුවෙලා

අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම ස්ථූපයේ සවිකොට තිබෙන ඉහළ වටිනාකමකින් යුත් අකුණු සන්නායකය ගැලවීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක රියැලිටි ගීත ගායනා තරගයකින් කුසලතා දැක්වූ ගායන ශිල්පියකු ඇතුළු තවත් පුද්ගලයන් පස්දෙනකු උඩමළුව පොලිසිය විසින් පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර බව තහවුරු වී තිබෙනවා.

සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි වැඩසටහනේ අවසන් වටයට තේරී පත් වුණු මෙම ගායකයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 03 වැනි දා පස්වරු 12.40ට පමණ උඩමළුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

අනුරාධපුර උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත සැඟවී සිට ඇති පොලිස් නිලධාරීන් එම සැකකරුවන් ජේතවන ස්ථූපයේ කොත් කැරැල්ලේ සිට භූගත ස්ථරය දක්වා සවිකොට තිබෙන තඹ ලෝහයෙන් නිමැවුණු අකුණු සන්නායකයේ භූගත කොටසේ ඇති අකුණු තැන්පත් වන ලෝහමය කොටසේ පරමාණුක බලයක් සහිත කිසියම් රසායනික ද්‍රව්‍යයක් තැන්පත් වී තිබේදැයි පරීක්ෂා කිරීමට දාගැබේ අකුණු සන්නායකය සවිකොට තිබෙන ස්ථානය අසලට යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර සිටින ගායන ශිල්පියා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, සෙසු සැකකරුවන් මීරිගම, වැල්ලව, මහනුවර, පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශන වලදී අනාවරණය වී ඇත. ඔවුහු සියලු දෙනා අවුරුදු 23 ත් 56 ත් අතර වයසේ පසුවෙති.

මෙම සැකකරුවන් පස්දෙනා සහ මීට පෙර ඉකුත් 02 දා සවස ජංගම දුරකථනයකින් ජේතවන ස්ථූපයේ අකුණු සන්නායකය ඡායාරූපගත කර තිබේ.

සැකකරුවන් අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඉන්පසු ඔවුන් අතර සිටින යුද හමුදා කෝප්‍රල්වරයා ඇතුළු තිදෙනකු ජේතවන ස්ථුපයේ අකුණු සන්නායකය ඡායාරූප සහ වීඩියෝගත කිරීමට එවා තිබූ බවත් හෙළිවී ඇත.

ස්ථූපයට සවිකොට තිබෙන අකුණු සන්නායකයේ භූගත කොටස මුලින් හාරා වීදුරුවක් තුළට වී ඇට දමා ගණිත ක්‍රමයකට තැබූ විට වීදුරුව තුළ තිබෙන වී ඇට කාන්දමක් මෙන් අකුණු සන්නායකයේ ලෝහමය කොටස දෙසට ඇදී යන බව පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් ප්‍රකාශ කොට ඇත.

ස්ථූපයට අකුණුසර පතිත වන අවස්ථාවන්හිදී අකුණු සන්නායකය දිගේ භූගත පොළොවට කිඳාබසින අකුණු එම සන්නායකයේ ලෝහමය තහඩුවේ තැන්පත් වන බවත් එහි තැන්පත් වන පරමාණුක බලයක් සහිත කිසියම් රසායනයක් විප් එකකට ගෙන ඒවා විදේශ රටවල සිටින ජාවාරම්කරුවන් වෙත රුපියල් කෝටි ගණනකට අලෙවි කරන බවත් පොලිස් විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

අකුණු සන්නායකයේ අකුණු තැන්පත් වන භූගත කොටස් සවිකොට තිබෙන එම ලෝහමය කොටස ගලවා ඉවත් කරගත හොත් රුපියල් කෝටි පන්සියයකට පමණ විදේශ ජාවාරම් කරුවන්ට අලෙවි කළ හැකි බවත් එම සැකකරුවන් පොලිසියට පවසා ඇත.

සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඇම්. ජයවීර සහ උඩමළුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත උඩමළුව පොලිසියේ උපපොලිස් පරීක්ෂක විජිත නවගමුව මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.

එම සැකකරුවන් ඊයේ (04දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.