හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8කට කටාර් හි අධිකරණයකින් මරණ දඩුවම

හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8කට කටාර් හි අධිකරණයකින් මරණ දඩුවම

ඔත්තු බැලීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ සමාගමක සේවයේ නිරතව සිටි හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකුට මරණ දඩුවම නියම කර තිබේ.

දෝහා කටාර්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් එම දඩුවම නියම කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, කටාර් බලධාරීන් හෝ ඉන්දීය බලධාරීන් එම පුද්ගලයින්ට එරෙහිව එල්ලකර තිබූ විශේෂිත චෝදනා මොනවාද යන්න මෙතෙක් හෙළිකර නොමැත.

ඉන්දීය රජය අදාළ තීන්දුව සම්බන්ධයෙන් සිය සංවේගය මෙන්ම කනස්සල්ල පළ කර ඇති අතර එම දඩුවම ඉවත් කර ගැනීමට අවශ්‍ය විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව කටාර් බලධාරීන් සමග සාකච්ඡා කරන බවයි, සඳහන් කර ඇත්තේ.

විස්තරාත්මක නඩු තීන්දුව තමන් වෙත ලැබෙන තෙක් සිටින බව පැවසූ ඉන්දීය බලධාරීන්, ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද පවසයි.

මරණ දඩුවම නියම වූ ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනා 2022 අගෝස්තු මාසයේ සිට කටාර් බලධාරීන් භාරයේ සිට ඇති බව සඳහන්.