‘ක්‍රිප්ටෝ රජු’ ට වසර 25 ක සිරදඬුවමක්

‘ක්‍රිප්ටෝ රජු’ ට වසර 25 ක සිරදඬුවමක්

ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්‍රයිඩ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණයක් හමුවේ වරදකරු වෙමිනි.

31 හැවිරිදි සැම් බෑන්ක්මන් ‘ක්‍රිප්ටෝ රජු’ ලෙස ද හැඳින්වෙයි.

‘ක්‍රිප්ටෝ කරන්සි’ ඩිජිටල් මුදල් ගනුදෙනු හරහා සැම් බෑන්ක්මන් සිය සේවාදායකයන්ගෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වංචා කළ බවට හෙළිවිය.

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සෑම් බෑන්ක්මන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පසුගිය 2022 දීය.

ඒ සමඟම ඔහුගේ ඩොලර් බිලියන තිස් දෙකක ‘එෆ්.ටී.එක්ස් සමාගම ද බංකොලොත් විය.

සෑම් බෑන්ක්මන්, ‘එෆ්.ටී.එක්ස්’ සමාගම ආරම්භ කළේ 2019 වසරේදීය. ‘එෆ්.ටී.එක්ස්’ සමාගම නියාමනයට ලක් නොවුණු බැංකුවක් ලෙස ක්‍රියාත්මක විය.

‘එෆ්.ටී.එක්ස්’ සමාගම ක්‍රිප්ටෝ මුදල් පමණක් නොව, බිට්කොයින් මුදල් ද ඔවුන්ගේ අරමුදල් යටතේ සුරක්ෂිතව තබා ගැනීම කළේය. මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සිදු වූයේ එම කටයුතුවලට මුවා වෙමින් යැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැම් බෑන්ක්මන්, ඇමරිකන් ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවට සම්බන්ධ වූ තැනැත්තා ලෙස ද සැලකෙයි.

Share This