උණුසුම් කාලගුණය මැයි අග වනතුරු

උණුසුම් කාලගුණය මැයි අග වනතුරු

මෙම දිනවල රට තුළ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මස අග නිරිතදිග මෝසම රට හරහා ස්ථාපිත වනතුරු පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශය පවසයි.

රට හරහා හොඳ සුළං රටාවක් නැති වීම සහ පරිසරයේ ජලවාෂ්ප බහුල වීම මෙම උණුසුම් තත්ත්වයට බලපා ඇති බවද කී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ශිරෝමනී ජයවර්ධන මහත්මිය, මෙම දිනවල සංවහන වැසි හොඳින් ඇතිවන ප්‍රදේශවලට, පවතින උණුසුම් තත්ත්වයට තාවකාලික සහනයක් ලැබෙන බවද සඳහන් කළාය.

අද (20) දිනයේ නැඟෙනහිර, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිසා සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share This