නුවරඑලිය මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ ආපනශාලාව වසා දැමේ

නුවරඑලිය මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ ආපනශාලාව වසා දැමේ

නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් (12) දිනය පුරා සිදුකල හදිසි පරික්ෂාවකදි නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ ආපනශාලාව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් පවත්වාගෙන යාම නිසා ආපනශාලාව තාවකාලිකව වසා දැමිමට නියෝගයක් නිකුත් කල බව නුවරඑලිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පැවසිය.

මෙම හදිසි පරික්ෂාවේදි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම , අපිරිසිදු අන්දමින් ආහාර සකස් කිරීම , නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම , ආහාර අනුභවය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයා නොතිබීම යන කරුණු යටතේ තවත් ආපන ශාලා අටක හිමිකරුවන් සඳහා නඩු පැවරීමට නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කෙරිණ.

තවද නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල තුළ රෝහල් සුභසාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ ආපනශාලාව තාවකාලිකව වසා දැමිමට වැසුම් නියෝගයක් ලබා දුන් බවත්, එහි අඩුපාඩුකම් සපුරා නැවත නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණයට ලක් කල යුතු බවද කිත්සිරි හේරත් මහතා පැවසිය.