සමරිසි විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ

සමරිසි විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ

සමරිසි විවාහ සඳහා අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීරණය කළේය.

සමලිංගික විවාහ සඳහා නීතිමය වලංගුභාවයක් ඉල්ලා සමරිසි යුවල සහ සමාජ ක්‍රියාකාරීන් විසින් අධිකරණයට යොමු කර තිබූ අභියාචනා 21ක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි, ඉන්දීය අගවිනිසුරු ඩී.වයි චන්ද්‍රචුඩ් විසින් මෙම තීන්දුව නිකුත් කරනු ලැබුවේ.

එම තීරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ, සමරිසි විවාහ නිත්‍යානුකූල බවට තීන්දු කිරීමට තමන්ට බලයක් නොමැති බවයි.

ව්‍යවස්ථාදායකය විසින් මෙම විශේෂ විවාහ තීන්දුවට අදාළ නීතියක් සම්පාදනය කළ යුතු බවත්, පසුව එම නීතිමය කාරණාව පිළිබඳ ව අධිකරණය වැඩිදුර අධ්‍යයනයක් සිදු කෙරෙන බවත් එරට අගවිනිසුරුවරයා ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත්, ඉන්දියානු රජය විසින් යෝජනා කර ඇති පරිදි සමරිසි යුවලවල් සඳහා සමාජ සහ නීතිමය අයිතීන් සහ පහසුකම් ලබා දීම වෙනුවෙන් කමිටුවක් පත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ එකඟතාව පළ කර තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2018 දී සමලිංගික සේවනය තහනම් කිරීමට අදාළ නීති අවලංගු කෙරෙන ඉතිහාසගත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ ද මෙවර ඊට අදාළ විවාහ නීතිගත කිරිමට එරෙහිවීම සුවිශේෂී ලක්ෂණයකි.

ආසියාවේ මේ වන විට සමලිංගික විවාහවලට ඉඩ ලබාදෙන්නේ තායිවානය සහ නේපාලය පමණි.