ව්‍යාජ ලිපින යටතේ රෝහල්ගතව සිට මිය ගිය තිදෙනකුගේ මළ සිරුරු හෝමාගම රෝහලේ

ව්‍යාජ ලිපින යටතේ රෝහල්ගතව සිට මිය ගිය තිදෙනකුගේ මළ සිරුරු හෝමාගම රෝහලේ

භාරකරුවන් යැයි පවසා ව්‍යාජ ලිපිනයන් දී හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සිවු දෙනෙකුගේ මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා ගැටළු රැසකට මුහුණ පා ඇතැයි හෝමාගම මූලික රෝහල් පොලිසිය පවසයි.

ඒ අනුව, මියගිය පුද්ගලයන්ගේ භාරකරුවන් වෙතොත් කඩිනමින් තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටි.

මෙසේ මියගිය පුද්ගලයන් මත්තේගොඩ, අතුරුගිරිය සහ මහරගම යන පොලිස් වසම් වල සිට රෝහල් ගත කර තිබූ අතර එක් පුද්ගලයකු සම්බන්ධයෙන් ලේඛනවල කිසිදු තොරතුරක් සටහන්ව නොමැති බව පැවසේ.

මොවුන් වයස අවුරුදු 78, 52 සහ 50 වයස්වල පසුවන්නන් බවත් මත්තේගොඩ රෝගියා 2024.01.22 දා ඇතුළත් කර 24 දා මියගොස් තිබූ බවත් අතුරුගිරියේ රෝගියා 2024.02.07 දා ඇතුලත්ව 12 දා මියගොස් තිබූ බවත් පැවසේ.

එසේම මහරගම රෝගියා 2023.10.20 දා ඇතුලත්ව 2024.01.20 දා මියගොස් තිබූ බව පැවසේ.

ඉන් දෙදෙනෙකුගේ ව්‍යාජ තොරතුරු ලබාදී රෝහලට ඇතුළත් කර තිබූ අතර අතුරුගිරියේ රෝගියා සුව වීමෙන් පසුව භාරකරුවකු නොපැමිණීම නිසා රෝහල් ගිලන් රථයකින් ඔහු පැවසූ අතුරුගිරිය ප්‍රදේශයේ ස්ථාන රැසකට ගියද ඔහුගේ බවට ඥාති සම්බන්ධතාවයක් ඇති කිසිවකුත් හමු නොවූ බවත් ඉන් පසුව යළි රෝහලට පැමිණ භාර කරුවෙකු එන තෙක් රෝහලේ රැදී සිටියදී මෙසේ මියගිය බව පැවසේ.

මෙම මළ සිරුරු මේ වන විට රෝහල් මෘත ශරීරාගාරයේ ශීතකරන වල තැන්පත් කර ඇති අතර ඒ හේතුවෙන් දෛනිකව රැගෙන එන මළසිරුරු තැන්පත් කිරීමට බාධා එල්ල වී ඇති බවත් කඩිනමින් එම මළ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර නිදහස් කිරීමට භාරකරුවන් නොමැතිවීමෙන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් පැවසේ.

එබැවින්, මේ පිළිබඳ 011 2 – 855200 අංකයට අමතා තොරතුරක් වෙතත් කඩිනමින් ලබාදෙන ලෙස හෝමාගම මූලස්ථාන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.