අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිළ පහළට

අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිළ පහළට

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සහ නිෂ්පාදන සමාගම් අතර පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇත.

එහිදී කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ මත්පැන් නිෂ්පාදන වියදම් අඩු කර ගල් අරක්කු බෝතලයක මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙසය.

මේ වන විට මිල අධික වීම නිසා මත්පැන් අලෙවියද අඩු වී ඇත.

එමෙන්ම මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ලීටරයක මිල රුපියල් 1200 සිට රුපියල් 800 දක්වා අඩු කර ඇත්තේද එතනෝල් අලෙවියද පහළ යෑම නිසාය

කෙසේ වෙතත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ගල් අරක්කු බෝතලයක මිල අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නිෂ්පාදන සමාගම් වලින් ඉල්ලා තිබේ.

මේ අතර එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බවද ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක පැවසීය.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පෙරේදා (25 වැනිදා) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ භාණ්ඩ මිල මෙන්ම මත්පැන් මිලද අඩුවිය යුතු බවත්, එළඹෙන අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහළ දැමීම සඳහා උත්සාහ කරන බවත්ය.