රෝග ලක්ෂණ නොපෙනෙන නිහඬ මාරයෙක් ගැන අනතුරු ඇඟවීමක්

රෝග ලක්ෂණ නොපෙනෙන නිහඬ මාරයෙක් ගැන අනතුරු ඇඟවීමක්

මෙරට වැඩිහිටි ජනගහනයෙන් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකු අධික රුධිර පීඩනයෙන් පෙළෙන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය උදය රළපනාව මහතා පවසයි.

ඒ අනුව වර්තමානය වන විට අධික රුධිර පීඩනය හේතුවෙන් සිදුවන මරණ ගණන ද ඉහළ යමින් පවතින බව මහාචාර්යවරයා පැවසීය.

දකුණු ආසියාතික රටවල මැදිවියේ පුද්ගලයන් තුළ මේ තත්ත්වය වැඩි වශයෙන් හඳුනාගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ද කොරෝනා ව්‍යසනය ඇති කාලයේ සිට වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික අවපාතය වැනි සමාජ, ආර්ථික ප්‍රශ්න මේ තත්ත්වය ඉහළ යාමට බලපා ඇතැයි ද ඔහු පැවසීය.

රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් අධික රුධිර පීඩනය නිහඬ මරණයක් පුද්ගලයෙකුට උරුම කර දෙන බවත්, ඉතා කලාතුරකින් අධික හිසරදය, ක්ලාන්තය වැනි රෝගී තත්ත්වයන් මේ තත්ත්වය උත්සන්න වූ විට ඇති විය හැකි බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

වර්තමානයේ රටේ මතුව තිබෙන තත්ත්වය දැනට බොහෝදෙනෙකු මානසික ආතතියෙන් පෙළීමත්, ජනතාව අතර අධික රුධිර පීඩන තත්ත්වය වැඩි වීමට හේතුවක් බව ඔහු පැවසීය.

“අධික රුධිර පීඩන තත්ත්වය පෙර ලක්ෂණ පහළ කරන්නේ නැති නිසා බොහෝ විට මරණය දක්වාම එය හඳුනාගත නොහැකියි.

මේ තත්ත්වය පාලනය නොකළහොත් එයින් ඇතිවිය හැකි සංකූලතා බොහොමයක් ඇතිවෙන්න පුළුවන්. ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම, හෘදයාබාධ වැනි තත්ත්වයන් ඒ අතර ප්‍රධානයි.”