Online පාස්පෝට් ඉල්ලූ 75% කගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වෙලා

Online පාස්පෝට් ඉල්ලූ 75% කගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වෙලා

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කළ අයදුම්කරුවන්ගෙන් 75% කගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබේ .

එලෙස ඉල්ලුම් කළ ඉල්ලුම්කරුවන් 75% ක්ම තාක්ෂණික දැනුමින් තොර වීම හා ඇතැම් ලිපිලේඛන අවිධිමත් අන්දමින් යාවත්කාලීන කර තිබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.

එම නිසා ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ප්‍රමාද වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඇතැම් පුද්ගලයන් මාර්ගගතව අයැදුම් කිරීමේදී උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් ඡායාරූප අපැහැදිලි අන්දමින් ජාලගත කිරීමත්, ඇතැමුන් වෙනත් පුද්ගලයන්ගේ ජංගම දුරකතන අංකවලින් අයැදුම් කර තිබීමත්, ඔවුන්ව ගැටලු පහදාදීම සඳහා සම්බන්ධ කර නොගැනීමත් මත වලංගු ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කරදීමට නොහැකි වී තිබෙන බවයි ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේ.

එමෙන්ම ඔහු අවධාරණය කළේ ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගතව හඳුන්වාදෙමින් ඒ වෙනුවෙන් ඇඟිලි සලකුණු සටහන් කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හඳුන්වා දුන් බවත් ඒ අනුව තෙදින හා සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර සඳහා අයදුම් කළ හැකි බවත්ය.

Share This