රටේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව සිල්ලර මාතෘකා උඩට අදිනවා – හරිනි අමරසූරිය

රටේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව සිල්ලර මාතෘකා උඩට අදිනවා – හරිනි අමරසූරිය

මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න යට කරන්න ආණ්ඩුව සිල්ලර මාතෘකා උඩට අදිමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

“ජනතාවගේ ආර්ථික අසහනය දඩමීමා කරගෙන වෙන වෙන දේවල්වලින් ඔවුන් අවුස්සන්න ආණ්ඩුව කටයුතු කරන බව මන්ත්‍රිවරිය අවධාරණය කළා ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය

අයි.එම්.එෆ්. එකඟතාව හරහා ආර්ථික අර්බුදය විසඳෙයි වගේ බලාපොරොත්තුවක් ආණ්ඩුව හැදුවනේ. රතිඤ්ඤා පත්තු කොට මහ ජරමරයක් කොට ඒ බලාපොරොත්තුව හැදුවා. නමුත් දැන් මාස දෙක තුනක් ගිහින් මේක ලේසි දෙයක් නොවන වග මිනිසුන්ට තේරෙනවා. ආර්ථික දේහයේ ඇති වී තිබෙන අර්බුදය විසඳලා ඒ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට පිළිතුරු තව ම ලැබිලා නැහැ.

ආර්ථික අර්බුදය මුලින් තිබුණේ රටකට ණය ගෙවාගන්න බැරි තත්වයක් නම් අද වනවිට එය ජන ජීවිතයට බරපතළ ලෙස බලපාන තැනකට වැටිලා. රැකියා නැති වෙලා.

හම්බ කරන ආදායම එදිනෙදා දේවල් කරගන්නත් මදි. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි දේවල් ආහාර සුරක්ෂිතතාවයට ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. මේ සියල්ල මිනිසුන්ගේ මානසික ජීවිතයට බලපාන තැනකට ඇවිල්ලා. ජනතාවගේ බලාපොරොත්තු නැති වෙනවා. බිය, අසහනය, දරුවන් ගැන මවුපියන් ගැන, අවිනිශ්චිතතා ඇතිවෙමින් තිබෙනවා.

ඒ අසහනය දඩමීමා කරගෙන වෙන වෙන දේවල්වලින් අවුස්සන්නත් හදනවා.

රටින් යන්න පුළුවන් කෙනා යන්නට යනවා. එවිට අර්බුදය තවත් වැඩි වෙනවා. විශ්වවිද්‍යාලවල තවත් බරපතළ අර්බුදයක් එනවා. උගන්වන්න ආචාර්යවරුන් නැහැ. ඉස්පිරිතාලවල බෙහෙත් පමණක් නොව හෙදියන් ද වෛද්‍යවරුන් ද නැහැ. විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යනවා. මේවා මිනිසුන්ගේ ජීවිතවලට තදින් ම බලපාන දේවල්.

මේවා කිසිවක් ගාණකට ගන්නේ නැතිව පාලකයෝ සම්පූර්ණයෙන්ම, අවධානය යොදවන්නේ ඔවුන්ගේ බලය පවත්වාගෙන යන්නයි. ඔවුන්ගේ හොර වැඩ කරගෙන යන්න සහ කරපු හොර වැඩවලින් ආරක්ෂා වෙන්නයි.

රටේ ජනතාවට මෙහෙම දුකක් දීගෙන බලය ගැන කෑදරකමකින් ඔක්කො ම ප්‍රශ්න වහගෙන ඉන්න පාලකයෝ ටිකක් අපට ඉන්නේ. මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න යට කරන්න විවිධ මාතෘකා ගෙන ආවත් ඒවා සියල්ල සිල්ලර මාතෘකා.”

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )