හරක්කටාගේ වරදාන ලැබූ පොලීසියේ 19ක් ගැන විමර්ශන

හරක්කටාගේ වරදාන ලැබූ පොලීසියේ 19ක් ගැන විමර්ශන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකතන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ නියෝග මත විශේෂ විමර්ශන ඒකකය මඟින් එම විමර්ශන මේ වන විට ආරම්භ කර ඇත.

එලෙස චෝදනා එල්ල වී තිබෙන බහුතරයක් දකුණු පළාතේ විවිධ ශ්‍රේණිවලට අයත් පොලිස් නිලධාරීන් බවට දැන ගන්නට ඇත.

හරක් කටා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලදී මේ බව අනාවරණය වුවත් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොවීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දැඩි අවධානය යොමුවීමෙන් අනතුරුව අදාළ උපදෙස් දී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටා විදේශගතව සිටියදී හා අත්අඩංගුවට පත්ව සිටියදී එම පොලිස් නිලධාරීන් විවිධ වරදාන වරප්‍රසාද ලබාගෙන ඔහු විසින් මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාලය සමඟ ඍජු හෝ වක්‍රාකාරයෙන් සබඳතා පැවැත්වූවාද? එසේත් නැති නම් ඔහුගේ අනුගාමිකයන්ට පහසුකම් ලබා දුන්නා ද? යන්න විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇති අතර ඊට අමතරව චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරීන්ට ලද සන්තෝෂම් මුදල්වලින් වෙනත් පුද්ගලයන්ගේ නමින් මිල දී ගත් ඉඩකඩම් යාන වාහන ආදි වත්කම් සම්බන්ධයෙන් ද විශේෂයෙන් සොයා බැලීමට නියමිතය.

අනපේක්ෂිත ලෙස හරක් කටා පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟම චෝදනා එල්ල වී තිබෙන ඇතැම් පොලිස් නිලධාරීන් සේවා කාලය සම්පූර්ණ වීමටත් පෙර විවිධ හේතූන් ගෙනහැර පාමින් ස්වකැමැත්තෙන් දුෂ්කර ප්‍රදේශවලට පවා ස්ථාන මාරුවීම් ලබාගෙන පිටව ගොස් ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.