හජ් උත්සවය අදයි

හජ් උත්සවය අදයි

ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය යෙදී තිබෙන්නේ අද (29) දිනයටයි.

පසුගියදා නව සඳ දැකීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළ පරිදි අද දිනයේ එම උත්සවය සැමරීම සිදු කරනවා.

ඇති නැති පරතරය දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ බවයි, ඉස්ලාම් ආගමට අනුව සඳහන් වන්නේ.

ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතරින් පස්වැන්න හජ් ඉටු කිරීමයි.

ඉබ්බ්‍රාහිම් නබි තුමන්, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම ඉන් සංකේතවත් වනවා.

සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන හජ් වන්දනාව, හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙසයි සැලකෙන්නේ.

මේ අතර හජ් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසු නැවුම් අපේක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදී ඇති අවස්ථාවේ මෙවර හජ් උත්සවය අන්කවරදාටත් වඩා සුවිශේෂී වන බවය.

එළඹෙන හජ් සමය වන විට රට තුළ පවතින ආර්ථික සමාජයීය දුෂ්කරතාවයෙන් සම්පූර්ණයෙන් මිදීමට සියලුදෙනාගේ දායකත්වය, මැදිහත්වීම සහ සහභාගීත්වය අතිශය වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

Share This