ග්‍රෑන්ඩ්පාස් හි පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක් මරුට – තවත් 5 කට තුවාල

ග්‍රෑන්ඩ්පාස් හි පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක් මරුට – තවත් 5 කට තුවාල

ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති හය හැවිරිදි දැරියකි.

ජල කරාම සවිකර තිබූ තාප්පය කඩා වැටීමෙන් පිරිමි ළමයි සිව්දෙනකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් 5 දෙනකු ජාතික රෝහල වෙත හා එක් අයෙකු ළමා රෝහල වෙත ඇතුළත් කර ඇත.

එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් හැරිසන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.