පාසලේ තැඹිලි කඩන්න ගිය සිසුවා විදුලිසැර වැදී මරුට

පාසලේ තැඹිලි කඩන්න ගිය සිසුවා විදුලිසැර වැදී මරුට

මාතලේ රත්තොට පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු එම විද්‍යාලයේ තැඹිලි ගසට නැග තැඹිලි කැඩීමට යාමේදී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ, කළුගල්තැන්න ගම්මඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු ( 16) ක දසනායක අසලංක ඉඳුවර නැමැති එකොළහ වසරෙහි ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

විද්‍යාලයේ පැවැත්වීමට නියමිත කෘෂිකර්ම කටයුත්තක් සඳහා ඊයේ (15) වන දින විද්‍යාලයට පැමිණෙන ලෙස විද්‍යාලයේ කෘෂිකර්ම ආචාර්යවරයාගෙන් ලද පණිවිඩයකට අනුව මෙම සිසුවා උදෑසන විද්‍යාලය වෙත ගොස් තිබේ.

කෘෂිකර්ම ආචාර්යවරයාගේ පැමිණීමේ ප්‍රමාදයක් හේතුවෙන් එහි පැමිණ සිටි පාසල් සිසුන් විද්‍යාලයේ තැඹිලි ගසකින් තැඹිලි කැඩීමට තීරණය ගෙන ඇති අතර අදාළ සිසුවා තැඹිලි ගසට නැග තිබේ.

තැඹිලි ගෙඩිය ගෙඩිය කඩා බිමට දැමීමෙන් තැඹිලි පුපුරා යන බැවින් තැඹිලි ඉත්ත පිටින් බෑමට සිසුන් තීරණය කර ඇත. ගසේ සිටි සිසුවා වෙත තැඹිලි බෑම සඳහා විද්‍යාලයේ තිබූ කඹයක් විසිකර ඇති අතර එම කඹය සිසුවාට අල්ලාගැනීමට නොහැකි වීමෙන් තැඹිලි ගස අසල වූ පාසැල් ගොඩනැගිල්ලේ වහලට විසිව ගොස් ඇත.

වහලයට වැටි කඹය ලබාගැනීමට උණ කෙක්කක් බිම සිටි සිසුන් ගස මත සිටි සිසුවාට ලබාදී ඇති අතර එම කෙක්ක ආධාරයෙන් කඹය ලබාගැනීමට උත්සාහ කිරීමේදී ඒ අසලින් ගමන් කළ විදුලි රැහැනක උණ කෙක්කගැටී ඇති අතර කෙක්ක හරහා පැමිණි විදුලි සැර සිසුවාට වැදීමත් සමග සිසුවා ගසින් බිමට වැටී තිබේ.

බිමට වැටුණු සිසුවා එහි සිටි අනිත් සිසුන් විසින් රත්තොට රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රත්තොට රෝහලින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත සිසුවා ඇතුළත් කළද ඒ වනවිටත් අදාළ සිසුවා මියගොස් ඇති බවට රෝහල් ආරංචි මාර්ග පැවසීය.

අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු රත්තොට පොලිසිය විසින් සිදු කරනු ලබන අතර සිද්ධියට අදාල මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතලේ වැඩ බලන මහේස්ත්‍රාත් ලසන්ත බාලසූරිය මහතා විසින් සිදුකර තිබේ.