ෂාෆ්ටර්ගේ සිරුර ගොඩ ගනී – ගොඩගත් දේහය කරාපිටිය වෛද්‍ය පීඨයට !

ෂාෆ්ටර්ගේ සිරුර ගොඩ ගනී – ගොඩගත් දේහය කරාපිටිය වෛද්‍ය පීඨයට !

මරණයට පත් වූ හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට කොළඹ සහ කරාපිටිය වෛද්‍ය පීඨවලට අනුයුක්ත වෛද්‍ය සහ රසායනාගාර තාක්ෂණ කණ්ඩායම් සාමාජිකයන් ගණනාවක්ද සහභාගී වූ අතර දනේෂ් ෂාෆ්ටර් මහතාගේ පියා වන ජනශක්ති රක්ෂණ සමාගමේ ආරම්භක සභාපති චන්ද්‍ර ෂාෆ්ටර් ඇතුලු පවුලේ සමීපතයින් කිහිප දනෙක්ද සහභාගී වූහ.

මරණයට හේතුව සෙවීම සඳහා දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බවට අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි එය ගොඩ ගැනීමට අවසර හිමි වුණේ.

සිරුර ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටයි අදාළ වෛද්‍ය කණ්ඩායම දන්වා තිබුණේ.

ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුන් අතර විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමේ කටයුතු සිදු කර තිබෙනවා.

දේහය සම්බන්ධයෙන් සිදු කළ යුතු වෝහාරික වෛද්‍ය පර්යේෂණ සඳහා එය ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය වෙත රැගෙන යාමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සිදුවිය යුතු මූලික කටයුතු සිදුවෙමින් පවතින අතර පසුව කරාපිටියේදී අදාළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් දේහය සම්බන්ධ විමර්ශණ කටයුතු සිදු කිරීමට නියමිතය.

ෂාෆ්ටර් මහතා මිය ගිය හේතුව නිශ්චය කිරීම සඳහා අධිකරණ නියෝගවලට අනුව ඒ සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු යෙදුණු අතර අද දේහය ගොඩ ගැනුණේ එම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ ඉල්ලීම අනුවය.

මෙ අතර අදාළ වෛද්‍ය විශේෂඥයන් ෂාෆ්ටර් මහතා මිය යාමට පෙර සිය මෝටර් රථය තුළ සිටි බොරැල්ල කනත්ත ප්‍රදේශයේ අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමටද කටයුතු කළහ.

අධිකරණ නියමයෙන් පත් කළ මෙම පංච පුද්ගල විශේෂඥ කමිටුවට මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය ඩී.සී.ආර් පෙරේරා, මහාචාර්ය ඩී.එන්.පී ප්‍රනාන්දු, වෛද්‍ය ශිවා සුබ්‍රමනියම් සහ වෛද්‍ය රොහාන් ප්‍රනාන්දු ඇතුළත් වෙති.

අද පෙරවරුවේ මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය වේදීන්ට ඉඩ ලබා නොදීමට පොලිසිය කටයුතු කර තිබුණද මාධ්‍යවේදීන්ගෙන් ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය හමුවේ ඔවුන්ට කනත්ත පරිශ්‍රය තුළ එක් සීමාවක සිට අදාල තොරතුරු වාර්තාකරණයට අවස්ථාව සලසා දුන්නේය.

පොලිසිය මේ අයුරින් බාධා කිරීමට හේතුව එක්තරා රූපවාහිනි නාළිකාවක් ෂාෆ්ටර් දේහය ගොඩ ගැනීමේ කටයුතු සජීවීව ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම බවත් එයින් සදාචාර සීමාවන් ඉක්මවීමට ඉඩ ඇතැයි සලකා සියලුම මාධ්‍යයට වාරණයක් දමා අති බවද පසුව අනාවරණය විය.

 

Share This