ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සිසුවිය ජීවිතක්ෂයට

ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සිසුවිය ජීවිතක්ෂයට

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 25 හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ මියගිය බව දියතලාව පොලිසිය පවසයි.

දියතලාව ගල්ඒදණ්ඩ හෙලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.පී. සත්සරණී චාමින්දි නැමති දැරිය මෙසේ මියගොස් තිබේ.

මේ අනුව දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග අනතුරින් මියගිය ගණන අට දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන පථයේදී ඉකුත් අප්‍රේල් මස 21 වන දින පැවත්විණ.

එහිදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 CC මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙසේ තරග වැදුන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී එක මෝටර්රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම අනතුර සිදුවිය.

එම අනතුරින්, 8 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන අය මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලැබීය.

එහිදී ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුට දිවි අහිමි වූ අතර, සෙසු සියලුදෙනා තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අයයි.