විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි

විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද ප්‍රතික්ෂේප කළේය.

දුමින්ද දිසානායක මහතා විසින් පැවරූ නඩුවේ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කෙරිණි.

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් සරත් ඒකනායක, අමාත්‍ය විජේදාස රාජපක්ෂ, කීර්ති උඩවත්ත, සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහත්වරුන්ට එරෙහිව පැවරූ නඩුවේ කරුණු සළකා බැලීමෙන් පසුව වාරණ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස මහතා සහ ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට පසුගිය 12 දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමද මෙසේ ප්‍රතික්ෂේප කෙරිණි.

පැමිණිලිකාර දුමින්ද දිසානායක මහතාගේ හා පක්ෂයේ සභාපති නිමල් සිරිපාල සිල්වා මහතාගේ කටයුතුවලට බාධා කිරිම වළක්වමින් වාරණ නියෝගයක්ද මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබිණි.